22වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විමර්ශනයක් ඉල්ලා බහුජන බලය විසින් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ඕනෑම සංශෝධනයක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සහ රාජ්‍ය ආයතන අතර නිසි සංචරණ හා තුලන පවත්වා ගැනීම අරමුණු කරගත යුතු බව සිවිල් සංවිධානයක් ලෙස සිය ස්ථාවරය වන බව එම සංවිධානය සඳහන් කරයි.

යෝජිත 22 වන සංශෝධනයේ ඇතැම් විධිවිධාන මඟින් මෙම මූලධර්මවලට, විශේෂයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ බලතල වෙන් කිරීමේ මූල ධර්මයට, බලපෑම් ඇතිවිය හැකි බවට මතුව ඇති කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇතැයි ද එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය වන බැවින්, එයට සිදුකරන මූලික වෙනස්කම් ප්‍රමාණවත් විනිවිඳභාවයකින්, පුළුල් මහජන සංවාදයකින් සහ නිසි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් තුළ සිදුකළ යුතු බව බහුජන බලය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *