ජාතියේ යශෝරාවය ලෙස විරුදාවලිය ජනහද පත්ලෙන්ම ලබන්නට වාසනාවන්ත වූ හෙළ ගීතයේ රන් ස්වරය ආචාර්ය නන්දා මාලනිය අද (22 දා) සන්ධ්‍යාවේ තමන් ආදරය කළ ලක්මාතාවට සමු දෙන්නීය. ආචාර්ය නන්දා මාලනියගේ අභාවය හේතුවෙන් ඊයේ (21 දා), අද (22 දා) සහ හෙට (23 දා) ජාතික ශෝක දින ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නම් කරනු ලැබීය.
ඇගේ අභාවය හේතුවෙන් රාජ්‍ය ආයතනවල ජාතික කොඩි අඩකුඹු කර තබන ලෙස ද එම අමාත්‍යාංශය දැන්වීය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 5.00ට බොරැල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.
“නිවසෙන් පිට දේහය ගෙනියන්න එපා. චාම් විදිහට කරන්න. ඇගේ අවසන් කැමති පත්‍රයේ ලියලා තියෙනවා” යැයි ආචාර්ය නන්දා මාලනිය ළඟින්ම ඇසුරු කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පෙරේදා රාත්‍රී මාධ්‍ය හමුවේ පැවසීය.
ඇයගේ දේහය උදේ 10ට ඇය පදිංචිවෙලා හිටිය අංක 30, නාවල පාර, විජයබා මාවත, නන්දා මාලනි සංගීත ආශ්‍රමයට රැගෙන එන ලදී. ඉන් පසු ඇගේ දේහය සෙනසුරාදා පස්වරු 3.30 දක්වා මහජන ගෞරවය සඳහා නිවසේ තැන්පත් කර තිබේ. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කීය. බොහෝ දෙනා ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි එහෙම කරන්නේ කියලා. ඇය කියලා තියෙනවා මගේ නිවසින් පිට දේහය ගෙනියන්න එපා කියලා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු චාම් විදිහට කරන්න කියලත් තියෙනවා. ඒ නිසා පවුලේ හැම දෙනාම තීන්දු කළා සෙනසුරාදා 3.30ට දේහය නිවසින් රිය පෙරහැරකින් අරගෙන ගිහිල්ලා ආදාහනාගාරයේදී තමයි එම කටයුතු සිදුකරන්නේ. මොනම විදිහකටවත් උත්සව සභාවක්, කතා පැවැත්වීමක්, ශෝක ප්‍රකාශ කිරීමක් ඒ කිසිම දෙයක් නැහැ. ඒක එතුමියගේ ඉල්ලීම. අපි ඒ ඉල්ලීමට පිටුනොපා අවමංගල්‍ය සභාවක් නොපවත්වා සවස 5.00ට බොහොම ඉතාම චාම් විදිහට අවමංගල්‍ය කටයුතු කරලා අවසන් කරන්න තීරණය කළා.
“ආගමිකවතාවත් පාංශුකූලය ලබාදීම සිදු වෙනවා සෙනසුරාදා උදේ10.00ට නිවසේදීම.
ඇයගේ අභාවය හේතුවෙන් නුගේගොඩ, විජයබා මාවතේ නිවසට ඇයට අවසන් ගෞරව දක්වන්නට දිවයිනේ නන්දෙසින් රසික රසිකාවියන්, කලාකරුවන්,දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු විශාල පිරිසක් ඊයේ (21දා) පැමිණ සිටිනු දැක ගත හැකි විය.
ඇතැම් රසිකයන් නන්දා මාලනී මහත්මියගේ දේහයට දණනමා ආචාර කරන අයුරුත්, තවත් කලාකරුවන් ඇගේ දේහය අසල හඬාවැළපෙන අයුරුත් ඉතා සංවේදී අවස්ථාවක් විය. සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙස 1943 අගෝස්තු 23 වැනිදා රාත්‍රී 8.00ට කොටහේනේ කුණු මෝලේ රෝහල නමින් පොදු ජනතාව අතරේ එවකට ප්‍රසිද්ධව පැවැති කුඩා ආරෝග්‍ය ශාලාවේදී ඇය උපත ලැබුවාය.
ඒ අනුව ඇයගේ උපන් දිනය හෙටට (23 දා) යෙදී තිබෙන මොහොතක ඇයගේ මේ සමුගැන්ම තවත් සංවේගකර අවස්ථාවක් වේ.
කොටහේනේ උපන් වෘත්තියෙන් ඇඳුම් මසන්නකු වූ මිරිහාන ආරච්චිගේ වින්සන්ට් පෙරේරා සහ බටහිර පස්යොදුන් කෝරළේ ලෙව්වන්දූවේ උපන් ලියනගේ එමලි පෙරේරා, නන්දා මාලනියගේ ආදරණිය මාපිය දෙපළ වූහ.
ජීවත්වීමට පාරේ වතුර පයිප්පයෙන් ජලය සපයාගත්, එවකට විදුලි බලයවත් නොතිබූ කුප්පි ලාම්පුවෙන් එළිය ලබාගත් ඇයගේ කුඩා ලෑලි නිවස පිහිටියේ කොටහේනේ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය අසලින් දිවෙන හත්වැනි පටුමගේ පිහිටි කාසෙට්ටිවත්තේය.
තමන්ට කියා හිමිකමක් නොතිබූ එම කුලී නිවස සහිත බිම් කොටස පසුකලෙක මෙරට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ආර්. පේමදාස මහතාගේ මැදිහත්වීමෙන් නන්දාගේ දෙමව්පියන්ට ස්ථීර හිමිකම් සහිතව සින්නක්කරව උරුම විය.
ඇය කුඩා වියේදී කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවාය. එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මඟ පෙන්වීම මත ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ (රේඩියෝ සිලෝන්) කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා මණ්ඩපය” වැඩසටහනට එක්වෙමින් “බුදු සාදු” ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවාය.
මේ ඇගේ පියා අතීතයේ දවසක ප්‍රවීණ මාධ්‍යවේදී පාලිත පෙරේරා මහතාට කියූ කතාවකි.
“මුළු ගෙදරටම තිබ්බේ කුස්සියත් එක්ක කෑලි තුනයි. මගේ ළමයි නව දෙනාම මේ කෑලි දෙකේ එක ගොඩේ පැදුරු දමාගෙන නිදාගත්තේ. නාගත්තේ, රෙදිපිළි වළං පිඟන් හෝදගත්තේ වත්තේ පයිප්පයෙන්. ගෙදර හැම දේකටම තිබ්බේ එකම එක කුප්පි ලාම්පුවක් විතරයි. ගෙදරට පස්සේ කාලෙක ලයිට් ගත්තේ නන්දායි”…
ගුවන්විදුලියේ ළමා පිටියට ඇය සහභාගි වූ අවධියේදී වෙළෙඳ වැඩසටහනක ගීත ගායනා තරගයකින් ජයග්‍රහණය කළ නන්දාට එදා ඉන්දියාවේ බොම්බායට යෑමට ගුවන් ටිකට් පතක් හා ගමන් බලපත්‍රයක් ලැබිණි. නමුත් නන්දා, එම සංචාරය ප්‍රතික්ෂේප කර තරග සංවිධායකවරුන්ගෙන් ඊට සරිලන ලෙස රුපියල් 1200ක් ලබා දෙන මෙන් කාරුණික ඉල්ලීමක් කළාය. එම මුදල ඇයට ලැබුණු අතර, එහිදී නන්දා තම පවුලට බෙහෙවින් අත්‍යාවශ්‍යව තිබූ කටයුතු කීපයක් වෙනුවෙන් වැය කෙරිණි. තම නිවසට විදුලි බලය ලබා ගැනීමට මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කළ ඇය ඉතිරි මුදලින් ජීවිතයේ පළමුවරට විදුලි ඉස්තිරික්කයක් හා මාලයක් මිලදී ගත්තාය. නන්දා ගායන වෘත්තියෙන් ලද මුල්ම ආදායම වියදම් වූයේ එලෙසිනි.
එදා ගුවන්විදුලියේ ළමා පිටියේදී මියුරු කටහඬිකින් නන්දා ගැයූ “බුදු සාදු” ගීතය ජනප්‍රිය වූ නිසා පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ “මධුවන්තී” වැඩසටහනට සහභාගී වන්නට ලැබුණු ආරාධනය ඇගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂය බවට පත් වූවාය.
එතැන් සිට අප්‍රමාණ දරිද්‍රතාවයෙන් පීඩාවලට මුහුණදී ජීවන අභියෝග රාශියක් ජයගනිමින් ඇරඹුණු කලා දිවියෙහි ඇය නොනැවතී ඉදිරියටම ඇදුනේ මෙරට සංගීත කලා ක්ෂේත්‍රයේ ඉහළම හිනිපෙත්ත කරායමිනි.

1962 අගෝස්තු 10 වැනිදා තිරගත වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටිය වූ “රන්මුතු දූව” චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකර සමග “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගනණාවක් පුරා තමන්ටම අනන්‍ය වූ ගායන විලාසයකින් හා ලාලිත්‍යවත් හඬ පෞරුෂයකින් යුතුව අප්‍රමාණ කැපකිරීම් සිදුකරමින් හෙළ ගී කෙත පෝෂණය කළාය.
ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය “සත්‍යයේ ගීතය” “පවන”, හේමන්තයේදී, “පෙම්බර ලංකා” වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගනණාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් “සින්දු හෝඩිය” ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමට ද ඇය පියවර ගත්තාය.
ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් ගෙවුණු දශක හයක කාලය පුරාවට හොඳම ගායිකාවට හිමි සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවාය.
නන්දා මාලනි මහත්මියගේ සංගීත දිවිය තුළ “පෙරදා මහ රෑ”, “පහන් කන්ද”, “සත්‍යයේ ගීතය”, “පවන ගී එකතුව”, “හේමන්තයේ දී”, “තාරුකා ඇස්”, “පාවෙනා” “ග්‍රැමෆෝන් ගී”, “අරලිය ලන්දට”, “නිලම්බරේ”, “පිරිත් පැන්” ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.
“අම්මාවරුනේ”, “අරලිය ලන්දට”, “බුදු තාත්තේ බොන්න එපා”, “දොළ ළඟ ගුරු පාර දිගේ”, ගෙඩි සියයක් බිම හෙලුවත්”, “හිතුමතේට දීග ගිය දුවේ”, “කුරුටු ගෑ ගී පොතේ”, “ලොවම එපා වී ලොවම කලකිරි”, මන්දනාව කාරණාව”, “නෙළාගන්න බැරි හින්දයි”, “නෝනා නාන්න නන් නාන්න නෝනා”, “ඔබයි රම්‍ය සද කිරණ”, “පූජාසනයේ ඔබ හිඳුවා”, ‘රන් කෙන්දෙන් බැඳ”, ‘රුක් අත්තන මල මුදුනේ”, “සුළං කපොල්ලේ”, “තරුද නිදන මහ රෑ”, “තුන් හෙළේ කැලෑ තුළ”, “උඩඟු ලියන් ගොතා බඳින”, “වහින්නට හැකි නම් ගිඟුම් දී”, “යනවානම් අනේ මං අරන්”, “වැසි දෙවිඳේ තුරු රජිදා එපා තෙමන්න”, “මල් කියන්නේ”, “යොවුන් වසන්තයේ”, “යදමින් බැඳ”, “හදවිල කළඹන”, “කොණ්ඩ කුරුල්ලට”, “කඩමන්ඩියේ”, “හන්තාන අඩවියේ”, “අයන්න කියන්න”, “සැඳෑ කළුවර”, “අහස සේ ඔබ” ඇතුළු තවත් ගීත රැසක් ගායනා කරමින් ඇය සුවහසක් රසිකයන් පිනවූවාය. එතුමිය මිය යනවිට 82 වෙනි වියේ පසු වූවාය.