පල්ලේගම හේමරතන හිමිගේ ශුකාණු පාපිස්සෙන් හමුවෙයි – රස පරීක්ෂක වාර්තා නිතිපති දෙපාර්තමේන්තුවට යවයි

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට හා දූෂණයකට ලක්කළ බවට චෝදනා ලබා සිටින හිටපු අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමිගේ විහාරස්ථානයේ තිබී රස පරීක්ෂක වෙත යොමු කළ පාපිස්සක තිබූ ශුක්‍රාණු සාම්පල උන්වහන්සේගේ DNA සමග ගැළපෙන බවට විද්‍යාත්මක සාක්ෂි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් එම පාපිස්සෙන් වින්දිත දැරියගේ DNA හමු නොවූ බවත් මීට පෙර දැරියගේ යට ඇඳුම් සහිතව වළ දමා තිබූ ඇඳුම් කොටස්වලින් ලබාගත් වාර්තාවලද හේමරතන හිමිගේ ඩීඑන්ඒ සාක්ෂි අඩංගු නොවූ බව විශ්වාස ආරංචි මාර්ග පැවසීය.

මෙම රස පරීක්ෂක වාර්තා මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 21) පොලීසිය විසින් දන්වා සිටියේය.

සිද්ධිය වූ ස්ථානය දැරිය විසින් පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි මෙන්ම දැරිය ලබාදුන් වීඩියෝ සාක්ෂිද අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

සැකකාර හිමියන් සාමාන්‍ය පරීක්ෂාවන් මගහැර, විනිසුරුවරුන් භාවිත කරන විශේෂ දොරටුවකින් අධිකරණ භූමියට ඇතුළු වීම පිළිබඳව මුල් පැමිණිලිකරුගේ නීතිඥ චානක අබේවික්‍රම දැඩි විරෝධය පළ කර තිබේ.

නීතිය ඉදිරියේ සැවොම සමාන බව පෙන්වා දුන් නීතිඥවරයාගේ ඉල්ලීම මත, ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිදු වික්‍රමරත්න විසින් අධිකරණ ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.

එමෙන්ම දෙවන සැකකාරිය වන දැරියගේ මව අත්අඩංගුවට පත්වීමට පෙර භාවිත කළ බව කියන, මෙතෙක් විමර්ශනය නොවූ තවත් දුරකථන අංක 3ක් දැරියගේ මිත්තණිය සහ මාමා විසින් නීතිඥවරයා වෙත ලබා දී තිබූ අතර ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියම කළේය.

පාසල් නිවාඩුවෙන් පසු මිත්තණියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමටද නියමිතය.

එමෙන්ම දැරියව අධිකරණ මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර වෙනත් පරිවාසයක සිටින බාල සොහොයුරියට වීඩියෝ ඇමතුම් ගැනීමට දැරියට අවසර හිමි විය.

තවද රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට සිතාසි නිකුත් කෙරිණි.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) යටතේ බරපතළ ලිංගික අපයෝජනය සහ 364 (2) (ඉ) යටතේ ස්ත්‍රී දූෂණය සිදුකිරීමේ චෝදනා මත පල්ලේගම හේමරතන හිමිට එරෙහිවද, 2006 අංක 16 දරණ පනතේ 360 (ඇ) (1) (අ) යටතේ මිනිස් වෙළෙඳාම සහ අපරාධයට ආධාර අනුබල දීම යටතේ දැරියගේ මවට එරෙහිවද කරුණු වාර්තා කර ඇත.

දැඩි ඇප කොන්දේසි සහ විදෙස් ගමන් තහනමක් මත සිටින හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස සහ අනුජ ප්‍රේමරත්න ඇතුළු විසි දෙනෙකුට අධික නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවීය.

නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව 2027 ජනවාරි මස 08 වැනි දින දක්වා කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *