මෙරට පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීමේ අරමුණින් ස්ථාපිත කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්ගලික) සමාගම මගින් කඩවත ඉදිකරන ලද මෙට්‍රෝ බස් ඩිපෝව අද සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. මෙය රට තුළ ස්ථාපිත කරන දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝව වේ.
මෙට්‍රෝ බස් සේවා කේන්ද්‍ර කරගනිමින්, බස්නාහිර පළාත තුළ කඩවත මෙන්ම රත්මලාන ප්‍රදේශයේ ද නව මෙට්‍රෝ ධාවන අංගන ඉදිකිරීමට සැලසුම් කර තිබූ අතර, ඊට අමතරව තලංගම හා හෝමාගම ප්‍රදේශවල ද මධ්‍යම වැඩපොළවල් ඉදිකිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම ඩිපෝ පද්ධතිය හරහා මෙට්‍රෝ බස් රථවල මෙහෙයුම් කටයුතු වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර, පසුගිය කාලය තුළ නව මෙට්‍රෝ බස් රථ 104ක් ද මෙහෙයුම් සඳහා එක්කර ගැනීමට කටයුතු කර තිබුණි.
මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට හිමිකම් ප්‍රාග්ධනය සැපයීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, එමගින් රටේ පොදු ප්‍රවාහන පද්ධතිය තව දුරටත් නවීකරණය කිරීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.