දුම්රිය ප්‍රවාහන පහසුකම් භාවිත කරන මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ටත්, ඔක්තෝබර් 01 වනදා සිට සිය මාසික දුම්රිය වාර ප්‍රවේශපත් මාර්ගගතව (Online) ලබාගැනීමේ පහසුකම හිමිවේ.
ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති seatreservation.railway.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම පහසුකම ලබාගත හැකිය.
මෙතෙක් මෙම මාර්ගගත පහසුකම රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා ක්‍රියාත්මක වූ අතර, එය පෞද්ගලික අංශයටද පුළුල් කිරීමේ නිල වැඩසටහන අද (2026.09.08) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ නෙළුම් ශාලාවේදී පැවැත්විණි.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ද සහභාගී විය.
මෙතෙක් දුම්රිය මාසික වාර ප්‍රවේශපතක් ලබාගැනීම සඳහා ප්‍රවේශපත් හැඳුනුම්පතක් සකස් කරගැනීමට අයදුම්පත්, ඡායාරූප, පදිංචිය තහවුරු කිරීමේ ලේඛන සහ ජාතික හැඳුනුම්පතේ පිටපත් ආදිය ඉදිරිපත් කිරීමට සිදුවිය. එමෙන්ම නියමිත දින හා වේලාවන් තුළ දුම්රිය ස්ථානය වෙත පැමිණ මෙම කටයුතු සිදුකරගැනීමටද මගීන්ට සිදුවිය.
මෙම දුෂ්කරතා අවම කරමින් හඳුන්වා දෙන නව ක්‍රමවේදය යටතේ, මගී අනන්‍යතාව තහවුරු කර පරිශීලක ගිණුම සත්‍යාපනය කිරීමෙන් අනතුරුව මාසික දුම්රිය වාර ප්‍රවේශපත මාර්ගගතව ලබාගත හැකිය.
පරිශීලක ගිණුම් සත්‍යාපනය කිරීම, ආසන වෙන්කිරීමේ පහසුකම පවතින ඕනෑම දුම්රිය ස්ථානයකින් සිදුකරගත හැකිය.