වතු කම්කරුවන්ගේ වසර 20කට වැඩි කාලයක් නොගෙවා තිබූ රුපියල් බිලියන 4.5කට අධික හිඟ EPF/ETF මුදල් හෙට රජයෙන් ගෙවයි

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC), ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ඇල්කඩුව වැවිලි සමාගම යන රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි සේවයේ නිරත සහ විශ්‍රාමික සේවකයන් 10,000කට අධික සංඛ්‍යාවකට වසර 20කට වැඩි කාලයක් නොගෙවා තිබූ රුපියල් බිලියන 4.5කට (මිලියන 4,500) අධික හිඟ EPF/ETF මුදල් ගෙවීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයින් 3,000කට රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සේවකයින් 6,123 දෙනෙකුට රුපියල් මිලියන 2,024ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයින් 1,000කට රුපියල් මිලියන 503ක් බැගින් හිඟ මුදල් වෙන්කෙරේ.

මෙම හිඟ පාරිතෝෂික දීමනා ගෙවීමේ සමාරම්භක උත්සවය සැප්තැම්බර් 10 වනදා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *