Lanka Metro Transit සමාගම මේ වන විට ලාභ ලබන තත්ත්වයට පැමිණ ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.
අදාළ ආයතනයේ මෙහෙයුම් ක්‍රමයෙන් ඉදිරියට යමින් පවතින අතර, එය තවත් ලාභ ලබන මට්ටමකට වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
එසේම, පළමු මෙට්‍රෝ බස් රථ 10 ආනයනය කළ මුදලට වඩා වැඩි මුදලක් ඊට පසු ආනයනය කළ බස් රථවලට වැය වී ඇති බවට ඇතමුන් චෝදනා කරන බව ද, එහෙත් එලෙස වැඩි මුදලක් වැයවී ඇත්තේ විනිමය අනුපාත හා මාදිලි වෙනස්වීම වැනි කරුණු බලපා ඇති නිසා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, නව බස් රථවල ආසන සංඛ්‍යාව ඉහළ නංවා ඇති අතර, රියදුරන් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි පරීක්ෂා කෙරෙන සංවේදක (Sensors) ඇතුළු අතිරේක පහසුකම් රැසක් ඊට ඇතුළත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන වැඩිදුරටත් සඳහන් කර සිටියේ.