කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීමට යැයි සඳහන් කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ප්‍රධානත්වය දරන ‘සිරිලිය සවිය’ ගිණුමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටියක මුදලක් බැර කරවාගෙන එම මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ෙමම විමර්ශනයට පදනම වැටී ඇත්තේ සී.ටී. ස්කෑනරයකට මුදල් රැස් කළද රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කර ඇත්තේ චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලද ස්කෑන් යන්ත්‍රයක් බව හෙළිවී ඇති බැවිනි.
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුදල් පරිත්‍යාගයක් ලෙස සිරිලිය සවියට බැරවීම සම්බන්ධයෙන් බැංකු බලධාරීන්ගෙන් සහ එවක සිටි අධ්යක්ෂ මණ්ඩලයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සිරිලිය සවිය විසින් ලිඛිතව කළ ඉල්ලීමකට අනුව එම මුදල පරිත්‍යාග කර ඇති බවය. සිරිලිය සවිය විසින් පවත්වාගෙන යනු ලබන මරදාන, සිදුවැල්ලේ පිහිටි බැංකු ගිණුමට එම මුදල බැර කර ඇති බවද අනාවරණය වී තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් වශයෙන් සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටියක් ලබාගෙන එම මුදල් නියමිත කාර්යයට යොදවා නොමැති බැවින් එම මුදලට කුමක් සිදුවීදැයි විමර්ශන සිදුවන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය. ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඇය රෝගී වී සිටින බව දැනගන්නට ලැබුණු බවත්, ඉදිරියේදී ඇයගෙන් ප්‍රශ්න කරන බවත් එම නිලධාරියා කීය.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් ප්‍රශ්නගත තත්ත්වයන් රැසක් තිබෙන බවත්, ඒ ගැන පවා විමර්ශන සිදුවන බවත් එම නිලධාරියා පැවසීය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම ගිණුම සම්බන්ධයෙන් ඇයගෙන් පසුගිය පෙබරවාරි 03 දා පැය 04කට අධික කාලයක්ද ප්‍රශ්න කරනු ලැබූ බව එම නිලධාරියා වැඩිදුරටත් කීය.