ඉකුත් වසරේ මුල් මාස 07ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 07 නිමා වන විට අය-වැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශ කරයි.
ඊට අමතරව මුල් මාස 07 (ජූලි) දක්වා රජයේ ආදායම සියයට 25.1කින් වර්ධනය වී ඇතැයි ද මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව, 2026 ජූලි මාසයෙන් අවසන් වූ මුල් මාස 07 තුළ රජයේ සමස්ත අය-වැය පරතරය රුපියල් බිලියන 109.7 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.
2025 වසරේ අදාළ කාලපරිච්ඡේදය තුළ අය-වැය පරතරය රුපියල් බිලියන 556.1ක් ලෙස සටහන් විය. අදාළ මාස 07 තුළ රජයේ ආදායම සහ අනුදාන රුපියල් බිලියන 3,421.3 දක්වා සියයට 25.1කින් ඉහළ ගොස් ඇති අතර, සමස්ත වියදම සහ ශුද්ධ ණය දීම් සියයට 7.3කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3,531.0ක් බවට පත්ව තිබේ.
එමෙන්ම, 2026 මැයි අග වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,795.04ක් වන අතර, එයින් දේශීය ණය රුපියල් බිලියන 18,609.43ක් සහ රුපියල්වලින් අගය කරන ලද විදේශීය ණය රුපියල් බිලියන 12,185.61ක් ලෙස සටහන් වේ.
2026 සැප්තැම්බර් 07 සිට 11 දක්වා කාලය තුළ මැදපෙරදිග පවතින ගැටුම් දීර්ඝ වීම සහ ප්‍රධාන නෞකා මාර්ගවලට එල්ල වන ප්‍රහාර හමුවේ සැපයුම් බාධා ඇතිවීමේ අවදානම මත ලෝක වෙෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, සතිය අවසන් වන විට බ්‍රෙන්ට් (Brent) සහ ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ඇත.
පෙර සතියට සාපේක්ෂව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 12.00කින්ද, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 10.77කින්ද ලෙස ඉහළ ගොස් තිබේ.
විදේශීය අංශයේ ප්‍රගතිය සලකා බැලීමේදී, 2026 අගෝස්තු අග වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,905ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති අතර, මෙයට චීන මහ බැංකුව (PBOC) සමඟ ඇති කරගත් විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වේ. 2026 අගෝස්තු මාසයේදී විදේශගත ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර (2025 අගෝස්තු මස එය ඩොලර් මිලියන 680.8ක් විය), 2026 සැප්තැම්බර් 11 වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වසරේ මේ දක්වා කාලය තුළ සියයට 5.7කින් අවප්‍රමාණය වී ඇත.