මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන ඔක්තෝම්බර් 2දා අවසන් කිරීමට අදහස් කරන බව නීතිපතිවරයා පසුගියදා (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනකු ඇතුළු සාක්ෂිකරුවන් පස් දෙනකුට අවවාද කළ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා තවත් සාක්ෂිකරුවන් 9 දෙනකුට සිතාසි නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, නාවික හමුදාවේ නිලධාරීන් මඟින් චූදිත යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ කාලයට අදාළ වැටුප් විස්තර ඉදිරිපත් කිරීමට අදහස් කරන බවයි. අනෙකුත් සාක්ෂිකරුවන් මඟින් රත්මලාන කෙකටිය පෙදෙසේ ඉඩම් මිලදී ගැනීමට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන බවත් ඒවා සියල්ල කෙටි සාක්ෂි බැවින් දවසේ සියලුම සාක්ෂි ඉදිරිපත් කළ හැකි බවත් පෙන්වා දුන්නේය.
2012 වසරේ අගෝස්තු මස 01දා සහ 2013 වසරේ අගෝස්තු 29දා අතර කාලයේදී රාජගිරියේ දී සහ බම්බලපිටියේ දී රුපියල් 735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව පවරා ඇත.
නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද කිරීමට අනුබලදීම සහ ක්‍රියා කිරීමට එකඟවීමෙන් ක්‍රමන්ත්‍රණය කළ බවද එකී කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් එම වරද සිදුකිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ මේ නඩුව පවරා ඇත.
ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.