රැස්වීමට එද්දී බීලා එන්න එපා කියලා ජනතාවට කියන්න අපිට බෑ – පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම්

තම පක්ෂයේ රැස්වීම් වලට සහභාගී වීමට පැමිණෙද්දී මත් පැන් නොබී එන්නයි ජනතාවට ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

සාගර කාරියවසම් මහතා පවසන්නේ දේශපාලන රැස්වීමකට සහභාගී වන පුද්ගලයන් අතර මත්පැන් පානය කරන සහ නොකරන පුද්ගලයන් මෙන්ම මස් මාළු අනුභව කරන සහ නොකරන පුද්ගලයන් ද සිටිය හැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ එවැනි රැස්වීම් සඳහා ආරාධනා කරන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට බැවින්, ඔවුන්ගේ පෞද්ගලික ජීවන රටාව සම්බන්ධයෙන් පක්ෂයට සීමා පැනවිය නොහැකි බවයි.

“මේ රටේ වසරකට කොපමණ මත්පැන් විකිණෙනවද? ඒ මත්පැන් බොන්නේ ඉන්දියාවේ මිනිස්සුවත්, විදේශිකයොවත් නෙමෙයි, ශ්‍රී ලාංකිකයෝ තමයි මත්පැන් බොන්නේ.”

සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේ රැස්වීමට පැමිණි පිරිස අතරින් ඇතැම් පුද්ගලයන් මත්පැන් පානය කර පැමිණ සිටිය හැකි බවත්, එය ඔවුන්ගේ පෞද්ගලික අයිතියක් බවත්ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කිසිදු පුද්ගලයෙකුට මත්පැන් ලබාදී නොමැති බවත්, මත්පැන් පානය කිරීමට කිසිවෙකු උනන්දු කර නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

“පක්ෂයක් හැටියට අපි කිසිම පුද්ගලයෙකුට මත්පැන් ලබාදීමක් සිදු කර නැති බවත්, කිසිම පුද්ගලයෙකුට මත්පැන් පානය කිරීම සඳහා උනන්දු කිරීමක් සිදු නොකළ බවත් ඉතාම විශ්වාසයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්,” යනුවෙන් සාගර කාරියවසම් මහතා වැඩි දුරටත් පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *