රජය බලයට පත් වූ මුල් අවධියේ විපක්ෂය හා විපක්ෂ හිතවාදී මාධ්‍ය මගින් මහජනතාව මුළා කිරීමේ අරමුණින් ගොතන ලද “කන්ටේනර් 323” පිළිබඳ කතාව සම්පූර්ණයෙන්ම අමු බොරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා පවසයි. ස්වාධීන රූපවාහිනී ‘කරලිය’ වැඩසටහනට එක්වෙමින් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ විශේෂ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති කිහිපය තුළදී එළිදැක්වීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා තහවුරු කළේය.
රජය ආරම්භයේදී මෙවැනි අසත්‍ය චෝදනාවලට වහාම පිළිතුරු නොදීම නිසා විපක්ෂයට එය විශාල ලෙස ප්‍රචාරය කිරීමට අවස්ථාව ලැබුණු බව පිළිගත් මන්ත්‍රීවරයා, එයින් රජය වැදගත් පාඩමක් ඉගෙනගත් බව ද පැවසීය. “අපි ආණ්ඩුවට පත්වෙලා මාස දෙකක් විතර යනකොට තමයි මේ කතාව හදන්න පටන් ගත්තේ. එතකොට මහ දවල් කිසිම සාධකයක් නැති අමු බොරුවකට උත්තර දෙන්න ඕනේ නැහැ කියලා අපි හිතුවා. ඒක තමයි අපි කරපු වැරැද්ද. ඒකෙන් පාඩමක් ඉගෙනගෙන දැන් අපි ආරම්භයේදීම ඕනෑම බොරුවකට වහාම පිළිතුරු දෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කන්ටේනර් 323 පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ වන විට 17 වතාවක් සාර්ථකව රැස්වී ඇති අතර, එහි සාමාජිකයෙකු ලෙස වෛද්‍ය නජිත් ඉන්දික මහතා ද කටයුතු කරයි. විපක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර, මුජීබුර් රහුමාන්, රංජිත් පීරිස් හා ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් ද මෙම කාරක සභාවට එක්ව සිටිති.
හිටපු රේගු අධ්යක්ෂ ජෙනරාල්වරුන්, නිලධාරීන් සහ විරුද්ධ අදහස් දැරූ සියලුම දෙනා කැඳවා සාක්ෂි විමසා ඇති අතර, අදාළ කන්ටේනර්වලට අයත් සියලුම රහසිගත ලිපිගොනු පරීක්ෂා කිරීමට විපක්ෂ මන්ත්‍රීවරුන්ට පවා සම්පූර්ණ ඉඩකඩ ලබාදී තිබේ.
මේ වන විට පරීක්ෂණ වාර්තාව සකස් කරමින් පවතින අතර, ඉදිරි මාසය හෝ මාස දෙක ඇතුළත එනම් සති කිහිපයකින් අවසන් වාර්තාව රට හමුවේ තැබීමට කටයුතු කරන බව මන්ත්‍රීවරයා තහවුරු කළේය. එම වාර්තාව එළිදැක්වීමත් සමඟ, “කන්ටේනර් 323” හරහා ආයුධ ගෙන ආ බවටත් ආණ්ඩු හිතවාදීන් ඊට සම්බන්ධ බවටත් ගොතන ලද මුළු කතාවම පට්ටපල් බොරුවක් බව සාක්ෂි සහිතව ඔප්පු වන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.