2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) සිය අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනාට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේය. එමෙන්ම, අදාළ දඬුවම ක්‍රියාත්මක වන අද දිනයේ සිට, එම විත්තිකරුවන් 15 දෙනාට අයත් සියලුම නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කළේය.
මුල් විත්තිකරු වන මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් හෙවත් “නවුෆර් මවුලවි” වෙත ගොනු කරන ලද තනි තනි චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම දඬුවම් නියම කිරීමේදී, ඒවා එකතු කළ විට එකතුව වසර 16,900ක සිර දඬුවමක් වන බව අනාවරණය විය. එහෙත් අධිකරණය නියෝග කළේ, එම සියලුම දඬුවම් එකවර (concurrently) ක්‍රියාත්මක වන පරිදි, එනම් වසර 220ක උපරිම කාලසීමාවක් තුළ ගෙවෙන පරිදි සකස් කරන ලෙසය.
මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් ඇතුළු 15 දෙනා වෙනුවෙන් ඉදිරිපත් වූ විත්තිවාචක අධිකරණය විසින් නිශ්ප්‍රභ කරන ලද අතර, ඉන් අනතුරුව ඔවුන් වරදකරුවන් බවට තීන්දු කරන ලදී. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ලබාදුන් අතර, නීතිපතිවරයා විසින් එල්ල කළ සියලුම චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වයට හැකි වූ බවට තීරණය කරන ලදී.