ආවාට ගියාට වාරික නොගෙවීම මත වාහන සීස් කරන්න බෑ- පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

මූල්‍ය සහ කල්බදු (Leasing) සමාගම් විසින් ලබාදුන් වාහන හෝ වෙනත් උපකරණ, වාරික නොගෙවීම මත නැවත පවරා ගැනීමේදී පවතින නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව පමණක් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනතේ 27 වැනි වගන්තියට අනුව යම් දේපලක් නැවත පවරා ගැනීමේදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාවලිය පැහැදිලිව දක්වා ඇති බවයි.

යම් දේපලක් නැවත පවරා ගැනීමට ප්‍රථම අදාළ ලීසිං සමාගම විසින් එම දේපල පිහිටි ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පූර්ව දැනුවත් කිරීම අනිවාර්ය වනවා.

එම දැනුම්දීම හරහා පවරාගැනීමේ ක්‍රියාවලියේදී සිදුවිය හැකි සාමය කඩවීම් වැළැක්වීම සඳහා පොලිස් සහාය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එසේම, දේපල සන්තකයේ තබාගෙන සිටින තැනැත්තාගෙන් කිසිදු ප්‍රතිරෝධයක් නොමැති නම් සාමකාමීව එය නැවත පවරා ගැනීමට බදු දෙන්නාට බාධාවක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

කෙසේ වෙතත්, පවරාගැනීමට යාමේදී යම් ප්‍රතිරෝධයක් එල්ල වන්නේ නම්, බදු දෙන්නා විසින් වහාම දිසා අධිකරණයේ පිහිට පැතිය යුතු අතර, නීතියට පරිබාහිරව බලහත්කාරයෙන් දේපල ලබාගැනීමට තැත් කළහොත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බවද අවධාරණය කළා.

මේ අනුව අයිතිකරුවන්ගේ ප්‍රතිරෝධය හමුවේ බලහත්කාරයෙන් ඇතුළුවීම, කොල්ලකෑම හෝ තර්ජනය කර දේපල පැහැරගැනීම වැනි සාපරාධී වරදක් සිදුවුවහොත්, අදාළ ලීසිං සමාගම්වලට හෝ ඔවුන්ගේ නියෝජිතයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *