තවත් ජලාශ 10 ක පාවෙන සූර්ය බලාගාර පිහිටුවීමට රජය තීරණය කරයි

මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා  පැවසීය.

මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

බේරේ වැව සහ දියවන්නාව ඊට ඇතුළත් නොවන බව කී අමාත්‍යවරයා එම ජලාශ දෙකේ පිහිටීම අනුව ශූරය බලාගාර පිහිටුවීමේ හැකියාවක් නැති බවද ප්‍රකාශ කළේය.

යම් ජලාශයක භූමි ප්‍රමාණයෙන් සියයට දහයක උපරිමයකට යටත්ව සූර්ය පැනල පිහිටුවන බව කරුණාතිලක මහතා කීවේය.

කුරුණෑගල ඉබ්බන්කටුව වැවේ ඉදි කෙරුණු දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරය පසුගියදා විවෘත කෙරුණු බව කී අමාත්‍යවරයා ජලාශ මත ඉදි කෙරෙන සූර්ය බලාගාර මගින් සැලකිය යුතු විදුලි නිෂ්පාදනයක් කර ගැනීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

ඉබ්බන්කටුව වැවේ අක්කර 10.5 ක ජල පෘෂ්ඨයක් ආවරණය වන පරිදි ඉදිකරන ලද දිය ජනනී පාවෙන සූර්ය විදුලි බලාගාරයෙන් ලබා ගැනීමට අපේක්ෂිත විදුලි ප්‍රමාණය මෙගාවොට් 05කි.

මෙමගින් වාර්ෂිකව නිවාස හත්දාස් පන්සියයකට පමණ විදුලි සැපයීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *