පසුගිය වසරට වඩා මෙරට දල දේශිය නිෂ්පාදිතය බිලියන 121කින් ඉහළට යයි

2025 වසරේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, මෙම වසරේ (2026) දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇස්තමේන්තු කර ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඒ අනුව පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ එම කාලය තුළදී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 121කින් ඉහළ ගොස් ඇත. 2026 වසරේ දෙවැනි කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇතුළු සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබේ. 2026 වසරේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ගණනය කර ඇත්තේ 2025 වසරේ දෙවැනි කාර්තුවේ වාර්තා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ අගයට සාපේක්ෂවයි. 2025 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 2,908ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය, 2026 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ස්ථාවර මිල යටතේ රුපියල් බිලියන 3,029ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, 2026 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ආර්ථික වර්ධන වේගය 4.2%ක් ලෙස වාර්තා වේ.

මෙම ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන ක්ෂේත්‍රයන්හි දායකත්වය පහත පරිදි වේ:

කර්මාන්ත අංශය: සමස්තයක් ලෙස කර්මාන්ත ආර්ථික කටයුතු 7.3%ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත.

සේවා අංශය: සේවා ආර්ථික කටයුතු තවදුරටත් 2.7%කින් වර්ධනය වී ඇත.

කෘෂිකාර්මික අංශය: කර්මාන්ත සහ සේවා අංශ ප්‍රගතියක් ලබා තිබුණද, කෘෂිකාර්මික ආර්ථික කටයුතු මෙම කාර්තුව තුළ 2.3%ක සංකෝචනයක් පෙන්නුම් කර ඇත.

පවත්නා මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සැලකිල්ලට ගැනීමේදී, 2025 වසරේ දෙවැනි කාර්තුවේදී එහි අගය රුපියල් බිලියන 7,414ක් ලෙස වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *