මන්නාරම් ද්‍රෝණියෙන් 2032වනවිට තෙල් ගන්න ඉලක්කයක් – ගෝලිය වෙළදපොලට ගෙනියන වගකීම එංගලන්ත සමාගමක

වසර දහයකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ තෙල් සහ ස්වභාවික වායු (හයිඩ්‍රොකාබන්) ගවේෂණය කිරීම සඳහා වන ‘Sri Lanka Licensing Round 2026’ ජාත්‍යන්තර බලපත්‍ර ක්‍රියාවලිය නිල වශයෙන් ආරම්භ කර තිබේ. මේ යටතේ මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000කට ආසන්න භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ගැඹුරු මුහුදු කලාප (Offshore Blocks) 4ක් ගෝලීය බලශක්ති සමාගම් සහ ආයෝජකයන් වෙත විවෘත කර ඇත.

මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවර්ධනය කිරීමේ විශේෂඥ හවුල්කරුවා ලෙස එක්සත් රාජධානියේ Frontier Energy Network ආයතනය පත් කර ඇති අතර, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) සමග එක්ව ලන්ඩන් සහ ක්වාලාලම්පූර් ඇතුළු ජාත්‍යන්තර සමුළුවලදී ගෝලීය ආයෝජකයන් දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීල් ද සිල්වා මහතා සඳහන් කළේ, 2011 වසරේදී මන්නාරම් ද්‍රෝණියේ සොයාගත් ‘Dorado’ සහ ‘Barracuda’ යන ගෑස් නිධි ආශ්‍රිතව ඝන අඩි බිලියන 839ක පමණ ස්වභාවික වායු ධාරිතාවක් පවතින බවට ගණන් බලා ඇති බවයි. 2027 මුල් භාගයේදී මෙම ටෙන්ඩර් ලංසු තැබීම් අවසන් කිරීමට නියමිත අතර, භූ කම්පන සහ විදුම් සමීක්ෂණ මගින් වාණිජමය ශක්‍යතාව තහවුරු වුවහොත් 2032 වන විට වාණිජ මට්ටමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *