රුපියල් 120ක වතුර බෝතලයක් රු. 200කට අලෙවි කළ ආපනශාලාවකට ලක්ෂ 9ක දඩයක් නියම කරයි

බෝතල් කළ පානීය ජලය නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කිරීම සම්බන්ධයෙන් යාපනයේ පිහිටි ආපනශාලාවකට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 950,000/-ක දඩයක් නියම කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ යාපනය දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී, මිලිලීටර් 1000 (ලීටර් 1) බෝතල් කළ පානීය ජල බෝතලයක් සඳහා නියම කර තිබූ රු. 120/-ක උපරිම සිල්ලර මිල ඉක්මවා එය රු. 200/-කට පාරිභෝගිකයෙකුට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අදාළ ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, අගෝස්තු 25 වැනිදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් 950,000/-ක දඩ මුදලක් නියම කර ඇත.

මෙවැනි වැටලීම් මඟින් නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගිකයින්ට අසාධාරණයක් සිදුවන වෙළෙඳ ක්‍රියාකාරකම් පාලනය කිරීමටත්, නීතියට අනුකූලව ව්‍යාපාර කරන වෙළෙඳුන් සඳහා සාධාරණ වෙළෙඳපොළක් තහවුරු කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරයි.

නියමිත මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම හෝ වෙනත් පාරිභෝගික නීති උල්ලංඝනයක් පිළිබඳ තොරතුරු ඇත්නම්, කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *