වසර 14කට පසු අධිවේගී මාර්ගවල පූර්ණ අලුත්වැඩියා කිරීමක් සඳහා සැලසුම් කර ඇති අතර එහි මුල් අදියර ලබන මාසයෙන් ආරම්භ කෙරේ. මුලින්ම කොට්ටාව සිට දොඩන්ගොඩ දක්වා අලුත්වැඩියා කිරීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට ගාල්ල දක්වා කොටස විවෘත කරන ලද්දේ 2011 වසරේ නොවැම්බර් මස 27 වැනිදාය. මේ වන විට අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය ‘ඉතා අසීරු’ බවට බීබීසී සිංහල සේවය කළ අධ්‍යයනයකදී රියැදුරන් බොහෝ දෙනකු පවසා තිබේ.
“ගොඩක් තැන්වල වාහනය පැදගෙන යනකොට ගැස්සෙන තත්ත්වයක් තියෙනවා. ඒ වගේම පාලම් සම්බන්ධ වෙන තැන්වල පාර සමතලා ගතියක් නැහැ. වාහනවල පැවැත්මටත් ඒක හානියක්. ඒ විතරක් නෙවෙයි, ගැස්සීම වැඩි නිසා වාහනයේ ගමන් කරන අයටත් සුවපහසුවක් නැහැ’ මේ අදහස් පළ කළේ නිරන්තරයෙන් අධිවේගී මාර්ග භාවිත කරන පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවන්නෙකි.
මේ අතර කොට්ටාව සිට ගාල්ල දක්වා නිරන්තරයෙන් අධිවේගී මාර්ගය භාවිත කරන තවත් අයකු පැවසුවේ තමන් ගාල්ල දක්වා මෝටර් රථය පදවාගෙන යන අතරතුර ‘වළකට වැටුණු ආකාරයක්’ අත්විඳි බවයි.