වසර 30කට පසුව ඉන්දියාව පරාජය කරන්න ශ්‍ර්‍රි ලංකාව අද පිටියට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තුන්වන සහ අවසන් තරගය අද (7 වැනිදා) පස්වරු 3.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. 1 – 0ක් වශයෙන් මේ වන විට තරගාවලියේ පෙරමුණේ සිටීමට ශ්‍රී ලංකාව සමත්ව සිටින අතර අද තරගයේ ජයග්‍රහණය හිමි වූවහොත් ඉන්දියාවට එරෙහිව ඉතිහාසගතවන එක්දින තරගාවලි ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත.

ඉන්දු – ලංකා ක්‍රිකට් ඉතිහාසයේ දෙරට අතර අවසන් වරට එක්දින තරගාවලියක ජය ශ්‍රී ලංකාවට හිමිවූයේ 1997 වසරේ වන අතර ඉන් අනතුරුව එකඳු එක්දින තරගාවලියක හෝ ජය ශ්‍රී ලංකාවට හිමි වී නොමැත. මේ හේතුවෙන් අද තරගය වසර 27කට පසු ඉන්දියාව පැරදවීම සඳහා හිමි වූ ස්වර්ණමය අවස්ථාවක් වශයෙන් සැලකිය හැක.

මෙවර එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු සමාන වී නිමාවට පත් වූ අතර දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතාවන් සමගින් දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි විය.

එක්දින තරගාවලිය මේ දක්වා දඟ පන්දු යවන්නන්ට වැඩි වාසි ගෙනදුන් තණතීරු තුළ ක්‍රීඩා කෙරෙන ආකාරය දක්නට ලැබිණි. මෙහිදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් ප්‍රතිවාදී කඩුලු 20න් 18ක් දවාගැනීමට සමත් වීමද විශේෂත්වයකි. කෙසේවෙතත් ඉන්දීය පන්දු යවන්නන් මෙම තණතීරුවේ උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්නා ආකාරය පළමු තරගය තුළ දක්නට නොලැබුණු අතර ඉන්දීය දඟ පන්දු යවන්නන් මේ දක්වා දවාගත්තේ කඩුලු 10ක් පමණක් වීමද විශේෂත්වයකි. බොහෝවිට අද තරගය පැවැත්වෙන තණතීරුවත් දඟ පන්දුවට මේ ආකාරයේම සහයෝගයක් දක්වනු ඇතැයි විශ්වාස කළ හැක. මේ හේතුවෙන් කාසියේ වාසිය හිමි කරගන්නා නායකයා බොහෝවිට පළමුවෙන් පන්දුවට පහර දී ලකුණු 230 සීමාව ඉක්මවීමට උත්සුක වනු ඇත.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනසකින් තොරව දෙවන තරගය සඳහා ක්‍රීඩා කරවන ලද කණ්ඩායමම යෙදවීමට වැඩි ඉඩක් ඇත. කෙසේවෙතත් ඉන්දීය සංචිතයේ අමතර දඟ පන්දු යවන්නකු නොමැති වීම හේතුවෙන් දඟ පන්දු යැවිය හැකි පිතිකරුවකු වන රියාන් පරාග් අර්ශදීප් සිං වෙනුවට ක්‍රීඩා කිරීමේ ඉඩක්ද ඇත.

මෙම තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට නම් පන්දු රැකීමේ මෙන්ම පිතිකරණයේත් උපරිමය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ලබා දීම අනිවාර්ය වනු ඇත. පළමුව පන්දුවට පහරදීමට හැකි වූවහොත් ලකුණු 250 සීමාවට ඉනිම ගෙන ඒම හෝ හඹා යෑමට සිදු වූවහොත් ප්‍රතිවාදීන් ලකුණු 240ට අඩුවෙන් තබාගැනීම මෙහි ජය සඳහා අත්‍යවශ්‍ය වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *