රී ලංකා නීති විද්‍යාලයේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සහ ශිෂ්‍ය කළමනාකරණ පද්ධතිය හඳුන්වාදීම ඇතුළුව ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘතිය සහ විෂයමාලා ප්‍රතිසංස්කරණ එළිදැක්වීම අගවිනිසුරු පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (20) සිදු කෙරිණි.
ඩිජිටල් නවෝත්පාදනයන් ඔස්සේ නීති අධ්‍යාපනය නවීකරණය කිරීමත්, සිසුන්ගේ අධ්‍යයන අත්දැකීම් වැඩිදියුණු කිරීමත්, සමකාලීන නීති අධ්‍යාපන ප්රමිතීන් සමඟ අනුකූලවීමත් අරමුණෙන් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබේ.
මේ අවස්ථාවට එක් වෙමින් අගවිනිසුරු පද්මන් සූරසේන මහතා පැවසුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ නීති ක්ෂේත්රයට කාලීන අවශ්‍යතාවක්ව පැවති බවයි.
මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙසේ ද පැවසීය.
අතීතයේ නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ පරිගණක හෝ ජංගම දුරකතන තිබුණේ නැහැ. කාර්යාල කටයුතුවලට පැරැණි යතුරුලියන භාවිත කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක ක්‍රම ලේඛනය හැදෑරීමෙන් අනතුරුව නීති විද්‍යාලයට පැමිණීමෙන් පසු තාක්ෂණික නොදියුණු බව මම දැක්කා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට ගත් මුල් උත්සාහය විවිධ ආයතන විසින් ප්‍රතික්ෂේප කළද පසුගිය අගෝස්තු මාසයේදී කිසිම උපදේශකයකුගේ හෝ අරමුදල්වල සහය නොමැතිව ස්වාධීන ගමනක් ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරි මාසයේදී ඉලෙක්ට්‍රොනිකව නඩුගොනු කිරීමේ පද්ධතිය හඳුන්වා දුන්නා. මේ වන විට නඩු ගොනුකිරීමට භෞතික ගොනු අවශ්‍ය නැහැ. නීතිඥවරුන්ට දවසේ ඕනෑම වෙලාවක නිෙවසේ සිට හෝ නඩු ගොනු කිරීමට මෙයින් අවස්ථාව ලැබෙනවා. නීති විද්‍යාලයේ වසර ගණනාවක් පුරා රැස්වී ඇති නීතිඥයන් 48,000කගේ පමණ ගොනු නිසා ගොඩනැඟිලිවල ඉරිතැළීම් පවා ඇති වී තිබෙනවා. ඩිජිටල්කරණය මඟින් මේ ගොනු පරිගණකගත කර පැරණි ගොඩනැඟිලි සුරක්ෂිත කිරීමේ අවස්ථාවද ලැබෙනවා.
පසුගිය ජූනි මාසයේදී පැවති දිවුරුම් දීමේ උත්සවය සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතයෙන් තොරව සිදු කළා. සිසුන් සහ විනිසුරුවරුන් ඩිජිටල් අත්සන් භාවිත කරමින් සියලු කටයුතු අන්තර්ජාලය ඔස්සේ සිදු කළ බවත් අගවිනිසුරුවරයා වැඩිදුරටත් පැවසීය.
ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති, ජනාධිපති නීතිඥ ප්‍රසන්න ලාල් ද අල්විස් මහතා-
ශ්‍රී ලංකා නීති විද්‍යාලය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින් එහි විෂයමාලාව කාලීන අවශ්‍යතාවට ගැළපෙන සේ සංශෝධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකම නිමා කර තිබෙනවා. 2024 වසරේදී ආරම්භ කළ මේ වැඩපිළිවෙළ යටතේ ප්‍රධාන ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වුණා. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් නීති විද්‍යාලයේ පන්ති කාමර පූර්ණ ස්මාර්ට් පන්ති කාමර බවට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස නව විෂයමාලා සංශෝධනය හැඳින්විය හැකි අතර ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් සාකච්ඡා මධ්‍යයේ මේ නව විෂය මාලාව කෙටුම්පත් කර තිබෙනවා. මින් පෙර විකල්ප භාෂාවක් ලෙස පැවති තොරතුරු තාක්ෂණ නීතියත් අන්තර්වාර වසර සඳහා අනිවාර්ය විෂයක් බවට පත් කර තිබෙනවා. වෘත්තීය නිපුණතා සංවර්ධනය කෙරෙහි මෙවර දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. නීතිමය දැනුවත් කිරීමේ ව්‍යාපෘතිවල නිරතවීමද අනිවාර්ය කරමින් සිසුන්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ නව විෂයමාලා ලබන වසරේ සිට පළමු වසරේ සිසුන්ටද ක්‍රියාත්මක වීමට නියමිතයි. ආදායම් නීතිය, මූල්‍ය නීතිය සහ ක්‍රීඩා නීතිය වැනි නව ප්රවණතා උසස් නීති අධ්‍යයන ආයතන ඔස්සේ විශේෂ පාඨමාලා ලෙස හඳුන්වා දීමටද සැලසුම් කර තිබෙනවා.
ආයතනික ඩිජිටල්කරණය යටතේ හඳුන්වා දුන් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය සහ ශිෂ්‍ය කළමනාකරණ පද්ධතිය මඟින් සිසුන් ලියාපදිංචි කිරීමේ සිට ප්‍රතිඵල ලේඛන නිකුත් කිරීම දක්වා වූ සියලු කටයුතු ඉතා වේගවත්ව හා කාර්යක්ෂමව සිදුවනු ඇත.
අගවිනිසුරුවරයාගේ පූර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් සියලු අංශවල පූර්ණ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් විශේෂඥයන්ගේ නොමඳ සහය ලැබී තිබෙනවා. සම්පත් බැංකුව සමඟ එක්ව නව ගෙවීම් ද්වාරයක්ද මේ වන විට සකස් කර ඇති අතර ලබන ජනවාරි මාසය වන විට නීති විද්‍යාලයේ කටයුතු පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීමට අපේක්ෂා කරනවා. වාණිජ මහාධිකරණය, සිවිල් මහාධිකරණය, දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු සියලු අධිකරණ පද්ධතීන් සඳහා ඩිජිටල් පද්ධතිය හඳුන්වා දීමට නියමිතයි.
ජනාධිපති නීතිඥවරු, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිත මරීනා ටෑන් ඇතුළු මහත්ම මහත්මීන්, නීති විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.