ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අලුතින් බදු වර්ග දෙකක් හඳුන්වා දෙන ලෙස යෝජනා කර තිබුණද, රජයේ ආදායම් ඉලක්ක සපිරීම සාර්ථක මට්ටමක පවතින බැවින් දැනට එම බදු පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, බදු එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වීම හේතුවෙන් අමතර බදු පැනවීමේ අවශ්‍යතාව අවම වී ඇති අතර මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පවත්වමින් සිටින බවයි.
“මීට පෙර බදු නොගෙවූ පාර්ශවයන්ගෙන්ද මේ වන විට සාර්ථකව බදු අය කරගනිමින් පවතිනවා. එමගින් අපගේ ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හැකියාව ලැබුණා. IMF එකෙන් අලුත් බදු දෙකක් යෝජනා කළත්, රජයේ ආදායම් මට්ටම යහපත් තත්ත්වයක පවතින නිසා එම බදු පැනවීම දැනට අවශ්‍ය නොවන බව අපි ඔවුන්ට පෙන්වා දී තිබෙනවා,” යැයිද ඔහු පැවසීය.
එසේම, බදු පදනම පුළුල් කිරීම හරහා ලබන වසරේදී වක්‍ර බදු ඇතුළු ඇතැම් බදු අනුපාත අඩු කිරීමට රජය බලාපොරොත්තු වන බවද අබේසිංහ මහතා සඳහන් කළේය.
තෙල් බදු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවතින ණය ගෙවා නිම කළ පසු ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීමට රජය අදහස් කරන බවයි.
මීට අමතරව, ඉදිරි අයවැය මගින් රටේ බදු ප්‍රතිපත්තියේ සිදුවිය හැකි සංශෝධනවලට අමතරව සෞඛ්‍ය, අධ්‍යාපන සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍ර සඳහා වන ආයෝජන ඉහළ නංවමින් ජනතාවගේ ජීවන වියදම ලිහිල් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.