කෙහෙළිය රඹුක්වැල්ල රනිල් වික්‍රමසිංහ ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම නොමග යවා ඇති බව හෙළි වෙයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව  මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම පසුගිය නඩු වාරයේ අධිකරණ ලබාදුන් අවසරය අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අවසර දීම සම්බන්ධව එවකට කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවාවන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය ලබා දෙමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුලත් කරුණු තහවුරු කරන ලේඛණ ඉදිරිපත් කිරීම අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීමක් බවත් අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳ විශය භාර අමාත්‍යවරයා සෑහීමකට පත්වනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට පවසා සිටි බව ද ඇය අධිකරණයට කරුණු අවධාරණය කළා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රකාශ ලබාගත් හිටපු අමාත්‍යවරුන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවේ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා නොදුන් හොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය තත්ත්වය කඩා වැටිය හැකි බව සඳහන්ව තිබූ හෙයින් ඊට අවසර ලබා දුන් බවට පොදුවේ ප්‍රකාශ කල බව ද පවසා සිටියා.

එම කැබිනට් පත්‍රිකාව තුළ අවශ්‍ය ඖෂධ මොනවාද කියා පැහැදිලිව සටහන් නොතිබුණ ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කෙරෙහි විශ්වාසය තබමින් කැබිනට් මණ්ඩලය ඊට අවසර ලබා දුන් බව ද හිටපු කැබිනට් අමාත්‍යවරුන් ප්‍රකාශ ලබා දෙමින් පැවසූ බව ද ඇය කියා සිටියා.

නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබා දුන් ප්‍රකාශය මඟින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා කැබිනට් පත්‍රය ඉදිරිපත් කර තිබෙන බවට නොදැන සිටි බවත් එසේ දැනුවත්කමක් තිබුණේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා නොදෙන බවත් පවසා ඇති බව ද ඇය කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *