ලංකාවේ තරුණයන් වෙනුවෙන් අමිල ජපානයේ කාර්මික පාසලක් දාන්න යයි

යමක් පටන්ගන්නා විට එය අසාර්ථක වේ යැයි ඔහු නිකමටවත් සිතන්නේ නැත. ඒ ඕනෑම දෙයක යහපත් ආකල්පය දැකිය හැකි නිසාය. හිතවතුන් ඔහුට ආදරයට කියන්නේ සඳා කියාය. ජීවිතයේ සැපට වඩා දුක විඳ ඇති ඔහු ශ්‍රී ලංකාවට ආඩම්බරයක් ලබාදෙන අමිල සඳරුවන් රණතුංගය. පිළිමතලාව, ශ්‍රී ධීරානන්ද මහ විදුහලින් අධ්‍යාපනය ලබන අමිල විදුහලේදී කලා අංශයෙන් උසස් පෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් වන්නේය. පුංචි කාලයේදීම හෝටල් කළමනාකරණය හා සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව සිහින දුටු ඔහු ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට 2005 වසරේදී ඇතුළු වන්නේ එම සිහිනය සැබෑ කරගැනීම සඳහාය. වසර තුනකට පසු ඔහු එම ආයතනයෙන් ඉවත් වන්නේ සංචාරක ක්ෂේත්‍රය හා හෝටල් කළමනාකරණය පිළිබඳව මනා පරිචයක් ලබාගනිමිනි.

ඔබ 2008 වසරේදී කටාර් රාජ්‍යයට යනවා. ඒ ගැන කීවොත්?

මම කටාර් රාජ්‍යයට ගියේ මගේ ඥාතියකු මාර්ගයෙන් රැකියාවක් හොයාගන්න. මට එහෙදි මැක්ඩොනල්ඩ්ස් කියන සුපිරි අවන්හලේ වෙළෙඳ සහායකයකු ලෙස රැකියාවක් ලැබෙනවා. ඒ අවන්හලේ නීතිරිති වගේම පාරිභෝගිකයන්ව සතුටු කරන්නත් ඕනේ. මට මුලින්ම අත්දැකීම් නැති නිසා ඒ අවන්හලේ කළමනාකරුගෙන් බැණුම් අහපු වාර අනන්තයි. ඒත් මම යමක් ඉගෙන ගනිද්දි නිකමටවත් අසාර්ථක වෙයි කියලා හිතන්නේ නැහැ. අනික මම ශ්‍රී ලංකාවේ කොල්ලෙක්. ඒ නිසා මගේ රටට අවනම්බු වෙන කිසි දෙයක් කරන්න හොඳ නැහැ කියලා හිතුවා. මෙහෙම යනකොට මාසෙකින් විතර ඒ අවන්හලේ හැම අංශයකම වැඩ කරන්න පුරුද්දක් මට ලැබුණා. මම මැක්ඩොනල්ඩ්ස් එකේ වසර දෙකහමාරකට ආසන්න කාලයක් වැඩ කළා.

ඊට පස්සේ කටාර් ඉඳලා ආයෙත් ශ්‍රී ලංකාවට එනවා. ඒ මොනවා හරි වෙලාද?

මම මගේ රටට එන්නේ අපේ පවුලට වෙච්ච කරදරයක් නිසා. ඒ කරදරය ඉවර වෙනකොට මගේ කටාර් රස්සාව නැතිවෙලා කියලා මගේ ඥාතියා දැනුම් දෙනවා. ඊට පස්සේ මම හෝටල් කළමනාකරණය පිළිබඳව පුහුණුවක් ලබාගන්න 2013 කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයට ඇතුල් වෙනවා. ඒ පුහුණුවෙන් පස්සේ ඒ හෝටලයේ කළමනාකරණ පුහුණුවන්නෙක් විදිහට අවුරුද්දක් විතර සේවය කරලා මම නැවත ගෙදර එනවා.

ගෙදර ඇවිත් ඔබ මොනවද කරන්නේ?

අපේ වතුපිටි බලාගෙන ඉන්නවා. ඒ කාලයේදි අපිට තිබුණ වාහනය රෙපයාර් කරන්න ගරාජ් එකට අරගෙන යන්නේ මම. කම්මැළිකමට ගරාජ් එකට වෙලා වාහන රෙපයාර් කරන්න පුරුදු වෙනවා. අවුරුද්දක් විතර යනකොට වාහනයක තියෙන ඕනෑම යාන්ත්‍රික දෝෂයක් හඳුනාගන්නත්, ඒ යාන්ත්‍රික දෝෂයට පිළියම් කරන්නත් මම ඉගෙන ගන්නවා. මේ කාලෙදි තමයි මගේ අම්මයි තාත්තයි අපේ ළඟම නෑයෙක් වුණ කුසුමා යටිගම්මන මහත්මියට කියන්නේ මාව පුළුවන් නම් ජපානයට යවන්න මොනවා හරි කරන්න කියලා. මොකද එයාගේ පුතත් ජපානේ ජපන් භාෂා පාසලකට ගිහිල්ලා ඒ රටේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන හින්දා. ජපානයට යවන ක්‍රමය ගැන එයාට හොඳ අවබෝධයක් තිබුණා. මම එයා කීව විදිහට මුලින්ම ජපන් භාෂාව පිළිබඳව දැනුමක් ගන්න බොරැල්ලේ තියෙන ජපන් භාෂා පාසලකට ඇතුළු වුණා. ඒ පාසලේදි ජපන් භාෂාව පිළිබඳව සාමාන්‍ය මට්ටමේ දැනුමක් ලබාගත්තා. ඒ විදිහට මම ශ්‍රී ලංකාවේ අවුරුදු එකහමාරක් විතර කාලය ගත කරනවා. මම ජපන් යන්නේ මගේ පළමු සිහිනය අමතක කරලා.

ඔබ ජපානයට යන්නේ 2016 අවුරුද්දෙදි…

ජපානයට ගිහින් තෝකියෝ ඉන්ටර්නැෂනල් ජැපනීස් ලැන්වේජ් ස්කූල් එකට ඇතුළු වුණා. ලංකාවේදි මාත් එක්ක ජපන් භාෂාව ඉගෙන ගත්තු පාසලේ මිතුරන් පස්දෙනකුත් මාත් එක්ක ජපානයට ගිය කණ්ඩායමට ඇතුළු වුණා. ඒ අයත් තෝරාගත්තේ මම තෝරාගත්තු ජපානේ පාසලමයි. අපි කට්ටිය ජපානයේ එකම ගෙයක් අරගෙන පදිංචි වුණා.

අමිල ජපානයේදී වියදම් කරන්න සල්ලි හොයාගත්තේ කොහොමද?

මම ජපන් භාෂා පාසලේ ඉගෙන ගත්තු අවුරුදු දෙකක කාලය තුළ පාසල් ගාස්තු, ඉඳුම් හිටුම්, නවාතැන් ගාස්තු හොයාගන්න ජපානයේ විවිධ අයාතනවල අර්ධකාලීන රස්සාවල් කළා. මගේ මිතුරන් කට්ටියත් ඒ විදිහටයි සල්ලි හොයාගත්තේ. ජපානයේ නීතිය අනුව ජපන් භාෂා පාසලකට යන කෙනකුට සතියකට පැය 28යි වැඩ කරන්න පුළුවන්. බොහොම අරපරිස්සමින් වියදම් කළත් මදි වුණු මුදල් අම්මා තාත්තගෙන් තමයි ගෙන්වා ගත්තේ.

ජපන් භාෂා පාසලේ ඉගෙන ගත්තු කාලේ වෙච්ච අමතක නොවන සිද්ධියක් තියෙනවද?

ජපානයේ තෝකියෝ නගරය කේන්ද්‍ර කරගනිමින් අවුරුද්දකට වතාවක් තෝකියෝ මැරතන් කියල ධාවන තරගයක් පවත්වනවා. ඒ තරගයට රටවල් 145ක 35000කට ආසන්න මැරතන් ධාවකයෝ සහභාගි වෙනවා. 2017 මාර්තු මාසේ තිබ්බ තෝකියෝ මැරතන් තරගයට මම ජපන් භාෂා පාසලේ ඉන්නකොට අයැදුම්පත් කැඳෙව්වා. මමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉල්ලුම්පත්‍රයක් දැම්මා. ඒ තරගයට තෝරාගන්නේ දක්ෂ මැරතන් ධාවකයෝ. ඒ බව තරග සංවිධායකයන් පිළිගත්තොත් විතරයි තරගයට ඉදිරිපත් කරන්නේ. මම මගේ පාසල ශ්‍රී ධීරානන්ද මහ විදුහලේ ඉගෙන ගන්න කාලේදි මැරතන් ධාවන තරග කිහිපයකටම දුවලා දිනලා තියෙනවා. පළාත් තරගවලින් වගේම සමස්ත ලංකා තරගවලිනුත් දිනලා තියෙනවා. මම මගේ ඉල්ලුම්පත්‍රයත් එක්ක ඒ සහතික අමුණලා ඇරියා. තරග සංවිධායකයෝ 2017 මාර්තු මාසේ පවත්වපු තෝකියෝ මැරතන් තරගයට මාවත් තෝරාගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් මාව විතරයි තෝරාගෙන තිබුණේ. මගේ රටේ කොඩිය යට ඉඳලා දුවන්න ලැබීම මම සැලකුවේ මගේ රට වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකමක් කියලයි. මමත් ලෝකයේ රටවල් 145ක මැරතන් තරගකරුවන් එක්ක කරට කර තරගයක් දුන්නා. මට ධාවන තරගයෙන් ස්ථානයක් ගන්න බැරි වුණත් මම මගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝකියෝ මැරතන් තරගයට ඉදිරිපත් වුණා කියන එකත් ශ්‍රී ලංකාවට ණයක් ගෙවීමක් විදිහටයි මම සලකන්නේ.

ඔබ දැන් සේවය කරන්නේ ලෝකයේ තියෙන ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන හොන්ඩා මොබිලිටි කොම්පැනි ලිමිටඩ් ජපැන් (Honda Mobility Company Limited of Japan) කියන දැවැන්ත ආයතනයේ. ඒ ගැන විස්තර කළොත්…

මම මේ සමාගමට ගියේ 2021 අවුරුද්දේදි. ඇත්තටම මට මේ වගේ දැවැන්ත සමාගමකට යන්න ලැබෙන්නේ තෝකියෝ ඔටෝ ටෙක්නිකල් ස්කූල් එකේ ඉගෙන ගන්න කාලේ ඔටෝ මොබයිල් ඉංජිනියරින් ගැන දුන්න දැනුමෙන්. මෙම සමාගමේ සේවකයන් 5000ක් විතර විවිධ අංශවල සේවය කරනවා. ඒ වගේම ජපානය පුරාම මෙම සමාගමේ ශාඛා පිහිටුවලා තියෙනවා. වාහන නිපදවීමේ ඉඳලා කාර්මික ක්ෂේත්‍රයේ ඕනෑම සේවයක් මේ හොන්ඩා සමාගමෙන් ලබාගන්න පුළුවන්.

ඔබ මේ වගේ දැවැන්ත සමාගමක රස්සාවකට ගියේ කොහොමද?

මේ සමාගමට සේවකයෝ බඳවාගන්න විභාග ක්‍රමවේදයක් තියෙනවා. හරියට රජයෙන් කරන විභාග වගේ. මම අයැදුම්පත්‍රයක් මුලින්ම දැම්මහම විභාගයක් තිබුණා. පස්සේ දෙවැනි විභාගයත් තිබ්බා. අන්තිමේදී තුන්වැනි විභාගයත් තිබ්බා. මම හොන්ඩා සමාගමේ යොකොහාමා නගරයේ තියෙන ශාඛාවේ ඔටෝ මොබයිල් ඉංජිනියර් කෙනෙක් විදිහටයි සේවය කරන්නේ. මම දැන් මේ සමාගමේ ශ්‍රේණි තුනකින් සමත්වෙලා ඉන්නේ. මට මේ වෙනකොට ලෝකයේ ඕනෑම රටකට ගිහින් ඔටෝ මොබයිල් ඉංජිනියර් කෙනෙක් විදිහට සේවය කරන්න පුළුවන්. මම ඒ දැනුම ලබාගත්තේ හොන්ඩා සමාගමෙන් ලබාගත්ත දැනුම් සම්භාරයෙන්.

ඔබ මේ වෙනකොට ශ්‍රී ලංකාවට දැනෙන යමක් කරලා තියෙනවද?

මම මගේ ශ්‍රී ලාංකික මිතුරන් සමග සංවිධානයක් හදාගෙන තියෙනවා. ශ්‍රී ලංකාවේ දුගී දුප්පත් අහිංසක ආබාධිතයන්ට රැකවරණය ලබාදීම සඳහා ඒ අයට ඕන කරන රෝද පුටු, අත්වාරු, බෙහෙත් හේත්, මිල මුදල් සෑම මාසයකම එහෙම අය හොයලා ඒ සංවිධානයෙන් ලබාදෙනවා.

මම ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවේ ඉන්න ආබාධිත පිරිස්වලට උදව් උපකාර කරන සංවිධානවලට එහෙම උදව් කරන්න ඕනේ අය ඉන්නවා නම් අපිට දැනුම් දෙන්න කියලා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ අන්ත දුෂ්කර පළාත්වල ඉන්න අධ්‍යාපනය ලබන්න කැමැති පාසල් ළමුන්ට සම්පත් දායකත්වයෙන් හා මිල මුදලින් මේ වෙනකොටත් අපේ සංවිධානය උපකාර කරමින් ඉන්නවා.

ශ්‍රී ලංකාවේ තරුණ පිරිස්වලට ඔබ ලබාගත්තු අත්දැකීම් වගේම කාර්මික දැනුම දෙන්න ඉදිරියේදී වැඩපිළිවෙළක් හදන්න ඔබ බලාපොරොත්තු වෙනවද?

මම ජපානයෙන් ලබාගත්තු අත්දැකීම් හා හොන්ඩා සමාගමෙන් ලබාගත්තු කාර්මික දැනුම ඉතාමත් ඉහළ මට්ටමක තියෙන්නේ. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ජපානයේ සසකාවා කියන ප්‍රාන්තයේ තෝරාගත්ත තැනක වාහන අලුත්වැඩියා කිරීමේ හා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරලා අපේ රටේ කාර්මික විද්‍යාලවලින් හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලින් පිටවන වාහන නඩත්තු කිරීමේ (මෝටර් කාර්මික) පුහුණුවක් ලබාගත්තු තරුණ තරුණියන් පිරිසක් ජපානයට ගෙන්වලා ඒ අයට පුහුණුවක් ලබාදීලා රස්සාවල් ටිකක් ලබාදෙන්න. මම හිතන්නේ මම කරන ඒ දෙයින් රටේ රැකියා ප්‍රශ්නයටත් විසඳුමක් ලැබෙයි කියලයි.

පවිත්‍රා කුමාරි ගිරාගම සමග විවාහ වී සිටින අමිල සතුටින් පවුල් දිවිය ගත කරන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *