උතුරු මැද පළාතේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් කාලය තුළ හා පාසල් වෙලාවෙන් පසු සිසුන්ගෙන් මුදල් අයකරමින් උපකාරක පන්ති සිදු කිරීම පිළිබඳව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේනගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 1/24 දරණ 2024/07/04 දිනැති අභ්‍යන්තර චක්‍ර ලේඛය මඟින් චක්‍ර ලේඛනය නිකුත් කළ දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට මුදල් අයකර පුද්ගලික උපකාරක පන්ති හෝ සම්මන්ත්රණ සිදුකිරීම මෙසේ තහනම් කර ඇත.
මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති අභ්‍යන්තර චක්‍රලේඛනය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් කළාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාශ අධ්‍යාපන අධ්යක්ෂවරුන් හා විදුහල්පතිවරුන් වෙත යවා ඇත.
එම චක්‍ර ලේඛනය මඟින් වැඩිදුරටත් මෙසේ දක්වා තිබේ,
“උතුරු මැද ඇතැම් පාසල් වල විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් කාලය තුළ නිසි පරිදි ඉගෙනුමි කටයුතුවල නොයෙදෙන බවටත්, තම පෞද්ගලික පන්ති හා සම්මන්ත්රණ වලට නොපැමිණෙන සිසුන් පාසලේදී සහ පන්ති කාමරය තළදී නොසළකා හරින බවත් විවිධ කායික හා මානසික පීඩාවන්ට සිසුන් ලක්කරන බවත් ,මේ නිසා සිසුන්, දෙමව්පියන් හා සිසුන් භාරකරුවන් දැඩි මානසික පීඩනයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ තත්ත්වය මත උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කර තිබෙනවා.
1-13 දක්වා සෑම දරුවකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමේ මූලික අයිතිය සුරක්ෂිත කිරීම, පීඩාවන්ගෙන් තොර වඩාත් ඵලදායි පාසල් පන්ති කාමරයක් නිර්මාණය කිරීම , පූර්ණ පෞරුෂත්වයකින් හෙබි දරු පරපුරක් බිහි කිරීම, විදුහල්පතින් හා ගුරුවරුන් කෙරෙහි සමාජය තුළ පවතින අභිමානය හා විශ්වාසය තහවුරු කිරීම, යන කරැණු කෙරෙහි දැඩි අවධනය යොමු කර ඇත.
මේ අනුව උතුරු මැද පළාතේ සියලු පළාත් පාසල් වල සිසුන් සඳහා මුදල් අයකර පාසල් වෙිලාව තුළ , පාසල් වේලාවෙන් පසු, සති අන්තවල නිවාඩු දිනවල හෝ රජයේ නිවාඩු දිනවල උපකාරක පන්ති, සම්මන්ත්රණ හෝ එවැනි සමගාමී වැඩසටහන් සිදු කිරීම මෙම චක්‍ර ලේඛය නිකුත් කළ දින සිට සපුරා තහනම් කර ඇත.”
මෙම චක්රලේඛනයට පටහැනිව ක්‍රියාත්මක ක්‍රියා කරන ගුරුවරුන් පිළිබඳව මහජන පැමිණි උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ 0252236331 දුරකථන අංකයට දැනුම් දිය හැකිය.