වසර දෙදහසකට වඩා පැරණි මිහින්තලයේ අනුලා චෛත්‍යය රුපියල් මිලියන 300කට විකුණා දැමූ බවට චෝදනා කරමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පුද්ගලයන් නව දෙනකුට එරෙහිව මිහින්තලයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබූහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (22) පැමිණි මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් මේ පැමිණිල්ල ගොනු කරනු ලැබීය.
බෝධාගම චන්දිම හිමි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස්, හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ, සැලසුම් අධ්‍යක්ෂ අනුර බණ්ඩාර ඇතුළු පුද්ගලයන් නව දෙනෙක් මෙම වංචාවට සම්බන්ධ වූ බවට මිහින්තලය විහාරාධිපති හිමියෝ චෝදනා කරති. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මිහින්තලේ විහාරාධිපති හිමියෝ මෙසේ සඳහන් කළහ.
“ඉතාම වංචනික ආකාරයට වසර දෙදහසකට වඩා පැරණි අනුලා චෛත්‍යය විකුණලා තියෙනවා. මල්වතු මහා නායක හිමියන්ට ද වංචා කළා. උන්වහන්සේලා මේ ගැන දන්නේ නෑ. රුපියල් මිලියන 300ට විකුණලා තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරනවා.
මල්වතු පාර්ශ්වයේ මහනායක නාහිමියන් වහන්සේගේ අනුශාසනා හා මඟපෙන්වීම අනුව පසුගිය වසරවල මිහින්තලා පුදබිමේ ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ පින්කම් රාශියක් සිදු කරනු ලැබුවා.”
“ඒ අතර ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයට අයත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂුණීන් වහන්සේලා වන අනුලා මහරහත් තෙරණිය ඇතුළු මහරහත් තෙරණීන් වහන්සේලා පන්සිය නමක් වැඩ සිටි භූමිය වන අනුලා මහරහත් තෙරණියගේ ස්තූපය සහිත ඓතිහාසික පුරාවිද්‍යා භූමියේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සුවිශේෂී පින්කමක් ලෙස හැඳින්විය හැකියි. අනුලා ස්තූපය සහිත භූමිය පුරාවිද්‍යා භූමියක් වුව ද වසර දෙදහස් ගණනකට පසුව එම භූමිය පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ මාගේ උත්සාහය මතයි.
එවකට බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ හට මා විසින් අනුලා ස්තූපය භූමිය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමෙන් පසුව මෙවැනි ඉතා වැදගත් ඓතිහාසික භූමියක් පවතින බව ජනගත වුණා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ අධීක්ෂණය යටතේ මෙහි මූලික කටයුතු සැලසුම් කෙරුණා.
ආරම්භක අවස්ථාවේදී නීත්‍යනුකූල අයුරින් මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කළ ද පසුකාලීනව එම ක්‍රියාවෙන් බැහැරව ක්‍රියා කරන අයුරු දකින්නට පුළුවන් වුණා. විහාරාධිපතිත්වය සහ භාරකාරීත්වය මා යටතේ පවතින අනුලා ස්තූපය සහිත භූමියෙහි සංරක්ෂණ කටයුතු මුවාවෙන් සිදුකර ඇති සියලු වංචා දූෂණයන් හා මූල්‍ය අක්‍රමිකතා හා අයථා මූල්‍ය ගනුදෙනු පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ හා සම්බන්ධව පවතින සත්‍ය තොරතුරු ජනතාවගේ දැනගැනීම පිණිස හෙළි කළ යුතුයි.
වංචා දූෂණ හා අක්‍රමිකතා මින් ඉදිරියට සිදු කිරීමට නොහැකි වන පසුබිමක් නිර්මාණය කිරීමත් රජයේ වගකීමක්. අනුලා ස්තූපය සහිත භූමිය ආශ්‍රිතව සිදු වන සියලු සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු මහනාහිමියන්ගේ අනුදැනුම ඇතිව විහාරස්ථානය හරහා පමණක් සිදු කිරීමටත් හැකි වන අයුරින් කටයුතු සලසා දෙන මෙන් ඉල්ලා සිටිනවා.“