අනුර තිස්ස කුට්ටිආරච්චිගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් ඉල්ලයි

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි ඇතුළු දෙදෙනෙකුගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් ගොනු කළ නඩුව ජනවාරි මස     21 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා. 

ඒ, මෙම නඩුව අද කොළඹ දිසා අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.  

ඊට අදාළ උත්තර ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස විත්තිකාර තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ උත්තර ජනවාරි මස 21 වනදා ගොනුකරන ලෙසයි අධිකරණය නියම කළේ.

අදාළ පෙත්සමේ විත්තිකරුවන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ මාධ්‍ය ආයතනයක් නම් කර තිබෙනවා.

පැමිණිලිකාර අනුර කුමාර දිසානායක කියා සිටින්නේ 2023 වසරේ අගෝස්තු මස 19 වනදා ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණ විසින් මැද කොළඹ ප්‍රදේශයේ ජන හමුවක් පවත්වා ඇති අතර එහිදී විත්තිකාර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් සිදු කරමින් තමා “බිලියන පහක් මෝල්ටාවේ ආයෝජනය කර තිබෙන බව”  ප්‍රකාශ කළ බවයි. 

එම ප්‍රකාශය දෙවන විත්තිකාර මාධ්‍ය ආයතනයෙන් ප්‍රචාරය කළ බවත් ඔහු පෙන්වා දෙනවා.

එම ප්‍රකාශය තුළින් තමා වංක චේතනාවෙන් ක්‍රියාත්මක කරන දූෂිත පුද්ගලයෙකු ලෙසත් යටි අරමුණු සහිතව විදේශයන්ගෙන් විශාල මුදල් ලබාගන්නා අයෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාර මන්ත්‍රීවරයා කටයුතු කර තිබෙන බවත් අනුර කුමාර දිසානායක සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. 

මේ තුළින් සිය කීර්තියට දැඩි අපහාසයක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් බිලියන 10ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර අනුර කුමාර දිසානායක අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *