මෙරට ට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අද (30) ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මුණගැසී තිබෙනවා. කොළඹ දී සිදුවූ මෙම හමුවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව සිටි බවයි පැවසෙන්නේ.
දෙරට අතර පවතින දේශපාලන සම්බන්ධතාවයන්, මෙරට දේශපාලන තත්වයන් සහ කලාපීය දේශපාලන තත්වයන් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි කියන්නේ.
මීට පෙර අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ඉන්දීය සංචාරයක නිරත වූ ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිස එහිදී ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මුණ ගැසී තිබුණා. ඒ පසුගිය පෙබරවාරි 5 වෙනිදා යි. එදින පස්වරුවේ දී අනුර දිසානායක මහතා සහ ඉන්දියානු මධ්‍යම රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් අතර හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව තිබුණා. එවර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම ද්විපාර්ශ්වීය හමුව දිල්ලියේ සර්දාර් පටෙල් භවන් හී දී පැවති බවයි.
එම හමුවේ දී කලාපීය ආරක්ෂාව පිළිබඳවත්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා මෙන්ම ආරක්ෂාව පිළිබඳවත් දීර්ඝ සහ සුහද, ඵලදායී සාකච්ඡාවක් වූ බවයි වාර්තා වුණේ.