අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු 4කට අධිචෝදනා ගොනු කරයි

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊ​යේ(සැප්. 2) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන වෙත දැනුම් දුන්නේ ය.

2014 වසරේ අගභාගයේදී කුරුණෑගල බිංගිරිය හා නාරම්මල ප්‍රදේශවල ගම්වතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් රුපියල් 61,46110ක මුදලක් ලබාගෙන එම කටයුතු සඳහා භාවිතා නොකර එම මුදල් 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා භාවිත කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කළ වෛද්‍ය ධම්මිකා ශිරාණි සුමනරත්න (බිරිඳ )ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති එස් අමරසේකර හා අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන අනුර සෙනෙවිරත්න නමැති සැකකරුවන් සිව් දෙනෙකුට එරෙහිව එසේ අධි චෝදනා ගොනුකර ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව එම අධිකරණයේ විභාගයට ගැනුණු නඩු කටයුතු අවසන් කළ අතර මහාධිකරණයෙන් නොතීසි ලද පසුව එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සැකකරුවන් සිව් දෙනාට අධිකරණයෙන් නියම විය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා මේ වනවිට ඇප මත මුදා හැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *