අපි පාතාලයට ණයත් නෑ , බයත් නෑ – අනුර කුමාර කියයි

මත් උවදුරෙන් පාතාලයෙන් මේ රට ගලවා ගන්නවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජන බලවේගයේ කොටිකාවත්ත රැලිය අමතමින් වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය

ලබන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ අපේ රටේ ඉතිහාසයේ වැදගත්ම ඡන්දයක්. මෙයට පෙරත් ඡන්ද ඇවිත් තිබෙනවා; ජනතාව ඡන්දය දීලා තිබෙනවා; නායකයෝ මාරු කර තිබෙනවා. දශක ගණනාවක් මේ දේ කළත් ව්‍යාපාර බංකොළොත් වෙලා රට කඩාවැටිලා දරුවන්ගේ අනාගතය විනාශ වෙලා මුළු රටත්, සමස්ත ජනතාවගේ ජීවිතත් බිඳවැටී තිබෙනවා. 21වැනිදා අප තීන්දු කළ යුත්තේ, අසාර්ථක, දශක හතකට වඩා පැරැණි ඒ පාරේම ඉස්සරහට යනවාද? අලුත් ගමනකට අලුත් පාරකට එනවාද කියන තීරණයයි. ඒ පැරැණි පාර වෙනුවට අලුත් පාරක් අවශ්‍ය නම්, ඒ අලුත් පාර ගෙන එන්නේ ජාතික ජන බලවේගය ප්‍රමුඛ මහජන ව්‍යාපාරයෙන් පමණයි. සැප්තැම්බර් විසිඑක යෙදී තිබෙන මේ අවස්ථාව කිසිසේත්ම මඟහරින්න දෙන්න එපා කියා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. අපි ඔක්කොම එකතුවී පැරැණි ගමනට තිත තබා අලුත් ගමනකට නායකත්වය දෙන්න ජාතික ජන බලවේගය සූදානම්.

අපිට දිනන්න පුළුවන්, ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා. හැබැයි, අපට හෙල්ලෙන දත වාගේ ආණ්ඩුවක් ලැබිලා වැඩක් නැහැ. ශක්තිමත් ජනවරමක් ඕනෑ. මේ රට හදන්න ශක්තිමත්, දැඩි තීන්දු ගණනාවක් ගන්න තිබෙනවා. ඒ වෙනුවෙන් ශක්තිමත් ආණ්ඩුවක් ඕනෑ. ජනතාවගේ ශක්තිමත් තීන්දුවක් ඕනෑ. රටේ ගොඩක් ආයතනවල කරන මත විමසීම්වලදී 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට කැමැත්ත පළ කර තිබෙනවා. හොරණ පිහිටි ධම්මික පෙරේරාගේ ෆැක්ටරියක කළ මත විමසීමකදී 65%කට වඩා ලැබිලා තියෙන්නේ ජාතික ජන බලවේගයට.

අපි පාතාලයට ණයත් නෑ - බයත් නෑ - ජාජබ නායක අනුර කුමාර දිසානායක කොටිකාවත්තේදී කියයි

සාමාන්‍යයෙන් ඡන්ද කාලයේදී රාජ්‍ය බුද්ධි සේවය සමීක්ෂණ සිදු කර ආණ්ඩුවට වාර්තා ලබා දෙනවා. දැන් මාසයක ඉඳන් රාජ්‍ය බුද්ධි සේවය සමීක්ෂණ කරන එක නතර කරලා. ඒ සමීක්ෂණ කරන්න යන අයගෙන් බහුතරයක් මාලිමාවේ. රාජ්‍ය බුද්ධි සේවයේ අය තැපැල් ඡන්ද ඉල්ලීම් අඩුකර ඡන්ද පොළට ගිහිල්ලාම කතිරය ගහන්න සූදානමින් සිටිනවා. මාලිමාවේ ජයග්‍රහණය මහ පොළොවේ තිබෙන අතර, සමහරු මාධ්‍ය ආයතන කිහිපයක් අල්ලාගෙන බොරු මාධ්‍ය සංදර්ශනත් පෙන්වනවා. සජිත් සමග එකටම හිටපු අය නැවත සජිත් සමඟ එකතු වෙයි කියන මාධ්‍ය සංදර්ශන පවත්වනවා. සාධාරණ ලෙස අපව වාර්තා කරන මාධ්‍ය ආයතන තිබෙන අතර, සමහර මාධ්‍ය ආයතන තෝරා ගත් අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහාම වැඩ කරනවා. ඒ විතරක් නොවෙයි, අපට විරුද්ධව ප්‍රහාර එල්ල කරන්නත් පටන්ගෙන තිබෙනවා.

මාධ්‍ය ඇතුළේ කරන ඒ සෙල්ලම තවදුරටත් මහ පොළොවේ වලංගු නැහැ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ඔය සෙල්ලම්වලින් නතර කරන්නත් බැහැ. මාධ්‍ය හැසිරවීම, බලය යෙදවීම, සල්ලි බෙදීම විතරක් නොවෙයි, සජබ කොටසක් ගල්ගමුවට ගිහින් මුහුණේ ගල්වන ආලේප සහ සබන් පවා බෙදලා. ඔවුන් බඩු බෙදන අතර, ජාතික ජන බලවේගය මේ රටේ මහජනතාව සමග කරන දේශපාලනයෙන් ජයග්‍රහණය කිරීම ඒකාන්තයෙන්ම විශ්වාසයි. ඡන්ද කාලයේදී කෙළින් හිටගෙන අසාර්ථක දේශපාලන ගමන් මාර්ගය වෙනස් කරන්න ජාතික ජන බලවේගය සමග එක් වී ක්‍රියාකාරීව වැඩ කරමු කියලා ඉල්ලන්නයි අපි ආවේ. කොළොන්නාව ආසනයෙන් විශාල ජයග්‍රහණයක් ඕනෑ. කොළොන්නාව කීවාම රටේ අනෙක් ජනතාවට හැඟී යන්නේ කුඩුපුරයක් ලෙසයි. පාතාලයේ ක්‍රියාකාරකම් තිබෙන ප්‍රදේශයක් ලෙසයි. කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. පාතාලය මෙහෙයවපු අය කොළොන්නාවේ මන්ත්‍රීකම් දැරුවා. කොළොන්නාවේ සංවිධායකයෝ පාතාලයේ කුඩු ව්‍යාප්ත කළා. භාරත ලක්ෂ්මන්ට වෙඩි තියන්නේ කොළොන්නාවේදී. කුඩු ව්‍යාපාර බෙදා ගන්න ගැටුම් ඇති වෙනවා. පාතාල ගැටුම් ඇති වෙනවා. කොළොන්නාවේ අම්මා, තාත්තාට තමන්ගේ දරුවන් සම්බන්ධයෙන් හෙට මොකක් වෙයිද කියන අවිශ්වාසයෙන් නිතරම ඉන්න සිදුවී තිබෙනවා. මේ පාතාලයත්, කුඩු ව්‍යාපාරයත් කොළොන්නාවෙන් තුරන් කරන්න ඕනෑ. ඒ වගකීම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව භාර ගන්නවා. ඒවා වැනෙන තීන්දු නොවෙයි, දැඩි තීන්දු. ලංකාවට කුඩු ගොඩබාන ආකාරය, මහා ව්‍යාපාරිකයන් සමග තිබෙන සම්බන්ධතාව, සමහර ආරක්ෂක නිලධාරීන් සමග තිබෙන සම්බන්ධතාව, දේශපාලකයන් සමග තිබෙන සම්බන්ධතාව අපි දන්නවා. කුඩු කියන්නේ එක ජාවාරමක් පමණක් නොවෙයි. අන්තර් සම්බන්ධයක් තිබෙන ජාලයක්. සමහර නාළිකාවල සම්බන්ධතාවක් තිබෙනවා. අසූඅටදාහක් පමණ වන පොලිසියෙන් හත්-අට දෙනකුට මේවාට සම්බන්ධකම් තිබෙනවා. දේශපාලකයා, ආරක්ෂක නිලධාරියා, ජාවාරම්කාරයා, පාතාලය වාගේ ජාලයක් තිබෙනවා. ඒ ජාලය සමග හැප්පෙන්න ශක්තිමත් බලයක් ඕනෑ. කුඩුවලින් තොර, පාතාලයෙන් තොර කොළොන්නාවක් බිහි කර දුවා-දරුවන්ගේ අනාගතය ගැන විශ්වාසයක් ගොඩනඟන්න නම්, ජාතික ජන බලවේගය බහුතර ඡන්දයකින් දිනවන්න ඕනෑ.

කාලයක් තිස්සේ කුඩු ජාවාරමත්, පාතාලයත් මර්දනය කරනවා කිව්වට එක ආණ්ඩුවක් ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහනවා. ආනෙක් ආණ්ඩුව ආවම අනෙක් පැත්තේ පාතාලයට ගහලා ඒ අයගේ අය ආරක්ෂා කර ගන්නවා. ජාතික ජන බලවේගයේ අපට කුඩු ව්‍යාපාරිකයන් එක්ක සම්බන්ධතාවකුත් නෑ. කුඩු ව්‍යාපාරයෙන් සල්ලි යොදවන්නෙත් නෑ. ජාතික ජන බලවේගය පාතාලයට ණයත් නෑ, බයත් නෑ. අපට සමාජ වගකීමක් තිබෙනවා. මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ වෙන්න දෙන්න බෑ. දරුවෙක් උපදින කොට අම්මා, තාත්තා සතුටු වෙනවා. දරුවා කුඩුවලට ඇබ්බැහි වුණාම අම්මා, තාත්තා වැළපෙන ගෙවල් අප දැකලා තිබෙනවා. දරුවා රඳවලා ඉන්න රිමාන්ඩ් බන්ධනාගාරය ඉදිරිපිට කඳුළු සලන අම්මලා අප දැකලා තිබෙනවා. කුඩුවලට ඇබ්බැහි වීම නිසා තරුණයන්ගේ ජීවිත විනාශ වෙන හැටි අපි දැකලා තියෙනවා. අපි එන්නේ ඒ තරුණයන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නයි. පොලිසියේ මහත්වරු අසරණ කරමින්, මාරුවක් ගන්නත්, පාතාලයට කතා කළ යුතු කාල වකවානු තිබුණු බව අපි දන්නවා. සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලා ගැන අපි දන්නවා. අධිකරණයෙන් දඬුවම් ලබා දුන් ගෝනවල සුනිල්ට ජනාධිපති සමාවදී සාමදාන විනිශ්චයකාර තනතුරකුත් ලබා දුන්නා. ජනාධිපති සමාවෙන් නිදහස් වී එන කොට ගෝනවල සුනිල් කැලණියට ආවේ ඇතා පිටින්. පාතාලය නිකම් වර්ධනය වුණේ නෑ. එයට දේශපාලන අනුග්‍රහය ලැබුණා.

අපි පාතාලයට ණයත් නෑ - බයත් නෑ - ජාජබ නායක අනුර කුමාර දිසානායක කොටිකාවත්තේදී කියයි

ප්‍රේමදාසගේ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ ඉහළම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සොත්ති උපාලිව පත් කරගෙන සිටියා. එයාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සොත්ති උපාලිත්, උපාසක වි.ජ.මු. ලොකුබණ්ඩාරත් හිටියා. තරුණයන් ගහගන්න, ඇනකොටා ගන්න සිද්ධි තිබුණත්, අපේ රටේ සංවිධානාත්මක පාතාලයක් තිබුණේ නෑ. එක්දහස් නවසිය හැත්තෑහතෙන් පස්සේ සංවිධානාත්මක පාතාලයක් හැදුණේ දේශපාලන රැකවරණයෙන්. අනෙක් පක්ෂවලට ගහන්න, කොඩි වනන්න, වේදිකා කඩන්න, වේදිකාවලට වෙඩි තියන්න, හොර ඡන්ද දාන්න පාතාලය ඕනෑ වුණා. ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා, බැද්දගානේ සංජීවලා ජනාධිපතිලාගේ තුරුලේ හැදුණේ. චන්ද්‍රිකාගේ ආරක්ෂකයා ලෙස නිල වශයෙන් පත් කරගෙන සිටි බැද්දගානේ සංජීවට කතා කර සමහර පොලිස් නිලධාරී මහත්වරුන්ට මාරුවීම් ලබා ගන්න සිදු වුණා. අපේ රටේ අපරාධ සංවිධානාත්මක ජාලයක් බවට ගෙන ආවේ, හිරගෙදර ඉඳන්, ඩුබායිවල ඉඳන් මෙහෙයැවිය හැකි තත්වයට ගෙනාවේ දේශපාලකයන්. අපේ රටේ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න එක ගැන කියන්න කට අරින්නේ නැහැ. ඉඩමක් විකුණන්න ගියත්, පාතාල නායකයාට කප්පම් දෙන්න ඕනෑ. හරියට නීතිය ක්‍රියාත්මක කරන පොලිසියේ මහත්වරුන් බයේ ජීවත් වෙන්න ඕනෑ. සමහර පොලිසියේ මහත්වරුන්ට පාතාලයට බයේ රට අත්හැර යන්න සිදු වී තිබෙනවා. මේ පාතාලයෙන් ජනතාව මුදාගෙන නිදහසේ සිටිය හැකි පරිසරයක් ගොඩනඟන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. අපට ශක්තිමත් බලයක් දෙන්න කියන්නේ, ජනතාවට මේ නිදහස ලබා දෙන්නයි. අපේ රටේ දරුවන් කුඩුවලට ගොදුරු වීම වළක්වන්න ඕනෑ. අපේ දෙමාපියන් කුඩු හේතුකොටගෙන විඳින වේදනා නතර කරන්න ඕනෑ. අපේ පොලිසියේ මහත්වරු නීතිය ක්‍රියාත්මක කරන්න බයේ ඉන්න තත්වය නතර කරන්න ඕනෑ. නීතියේ විධානය, ආධිපත්‍යය තිබෙන රටක් අපි ගොඩනඟන්න ඕනෑ. අපි එන්නේ මේ රට හදන්න. මම නැවතත් කියනවා, අපි කිසිවකුටත් ණය නැහැ. අපි පිරිසිදු මිනිස්සු. ඔය කිසිවකුටත් අපව සල්ලි දීලා ගන්න බැහැ. මේ දේශපාලන තීන්දුව අරගෙන අපි වැඩ කරන්නේ නැත්නම්, මේ රට අනාරක්ෂිතයි; ජීවිත අනාරක්ෂිතයි. නීතිය ඉදිරියේ හැම දෙනාම සමානයි. නීතිය පාගාගෙන, නීතියට උඩින් ඉන්න කිසිවෙකුත් නැහැ. නීතිය ඉදිරියේ අද හැම දෙනාම සමාන නැහැ. එහෙම සමාන නම්, ප්‍රසන්න රණතුංග, ලොහාන් රත්වත්තේ, නිමල් ලන්සා, ප්‍රසන්න රණවීර අද පාර්ලිමේන්තුවේ ඉන්න විදියක් නැහැ. ඒ වාගේම සංස්කෘතික අරමුදලට කරපු වැඬේ ගැන සජිත් ප්‍රේමදාස උත්තර බඳින්න ඕනෑ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි සිය ගණනක් වෙනුවෙන් ආරම්භ කළ පරීක්ෂණවලදී සජිත් ප්‍රේමදාසගෙන් එක කටඋත්තරයක්වත් ගත්තේ නැහැ. ඒ ගොල්ලෝ හැමදාමත් ඉන්නේ නීතියට වඩා උඩින්. සාමාන්‍ය ජනතාව හැම දාමත් නීතියේ අසමාන සැලැකීමට ලක් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *