දේශපාලන මැදිහත්වීම්වලින් තොරව බඳවාගත් නව සෞඛ්‍ය කාර්ය සහායකයින්ට පත්වීම් ප්‍රදානය කරයි

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, සෞඛ්‍ය කාර්ය සහායක (SKS) තනතුර සඳහා බඳවාගත් 627 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම බඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ ඉතිහාසයට එක්වන සුවිශේෂී අවස්ථාවක් වන අතර, කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව සම්පූර්ණයෙන්ම අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදුකළ සෞඛ්‍ය කාර්ය සහායක බඳවාගැනීමක් ලෙස ඉතිහාසගත වේ. මෙය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් මත පත්කිරීම් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරන ආදර්ශමත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම 627කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනයවන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අපේ ආර්ථකයට අනුව රාජ්‍ය සේවයට බඳවා ගත හැකි ප්‍රමාණය බඳවා ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බව පැවසීය. එහි දී තිබෙන පුරප්පාඩු ප්‍රමාණය සලකා බලමින් මේ වනවිටත් 160,000කට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට එක් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. අතීතයේදී සෞඛ්‍ය කාර්ය සහායකයන්, පාසල් මුරකරුවන්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් ඇතුළු රාජ්‍ය සේවයට බඳවා ගැනීම් බොහෝ අවස්ථාවල දේශපාලන මැදිහත්වීම් මත සිදු වූ බව මෙහි දී සිහිපත්කළ අමාත්‍යවරයා එම බඳවා ගැනීම් සඳහා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් විසින් නාමලේඛන සකස් කිරීම සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත්ව තිබූ අතර, ඒ හේතුවෙන් රාජ්‍ය සේවය තුළ දේශපාලනීකරණය තහවුරු වූ බවද පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දේශපාලනීකරණය වඩාත් ප්‍රකට වූ ක්ෂේත්‍රයක් ලෙස සෞඛ්‍ය කාර්ය සහායකයන් බඳවා ගැනීම හැඳින්විය හැකි බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා, වත්මන් රජය එම ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් හා සුදුසුකම් මත පමණක් පදනම් වූ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇති බව අවධාරණය කළේය.

රෝහල් පද්ධතියේ පවතින සැබෑ පුරප්පාඩු හඳුනාගෙන, ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාවන්ට අනුව බඳවා ගැනීම් සිදු කරන බවත්, ඒ සඳහා විවෘත පුවත්පත් දැන්වීම් පළ කරමින් සෑම අයදුම්කරුවෙකුටම සමාන අවස්ථාවක් ලබාදෙන ක්‍රමවේදයක් අනුගමනය කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් 8 දින පළ කරන ලද පුවත්පත් දැන්වීමට අයදුම්පත් 91,473ක් ලැබී තිබූ අතර, මූලික සුදුසුකම් සම්පූර්ණ නොකිරීම හේතුවෙන් අයදුම්පත් 2,737ක් ප්‍රතික්ෂේප කිරීමට සිදු වූ බවද, ඉතිරි වූ සුදුසුකම් ලත් අයදුම්කරුවන් 88,736 දෙනා අතරින් පළමු කණ්ඩායම ලෙස මෙම පිරිස තෝරා ගනු ලැබූ බවද අමාත්‍යවරයා පැවසීය.

කිසිදු දේශපාලන ලැයිස්තුවක් හෝ බාහිර බලපෑමක් නොමැතිව, නියමිත සුදුසුකම් සහ විධිමත් තේරීම් ක්‍රමවේදයන් මත පමණක් මෙම බඳවා ගැනීම සිදු කළ බව අවධාරණය කළ අමාත්‍යවරයා, මෙය වත්මන් රජය විසින් රාජ්‍ය සේවය දේශපාලන බලපෑම්වලින් නිදහස් කිරීම සඳහා ගෙන ඇති ප්‍රතිපත්තියේ ප්‍රායෝගික සාක්ෂියක් ලෙස සැලකිය හැකි බව ද සඳහන් කළේය. රාජ්‍ය සේවයේ දේශපාලනීකරණය අවසන් කිරීමේ ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි බවට මෙම බඳවා ගැනීම වැදගත් සන්ධිස්ථානයක් වන බවද හෙතෙම අවධාරණය කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය අතිශය කාර්යබහුල සහ ඉහළ වගකීම් සහිත අමාත්‍යාංශයක් වන බැවින්, රාජකාරී ඉටු කිරීමේදී පංගු බේරුම් හෝ වගකීම් පැහැර හැරීම් සඳහා කිසිදු ඉඩක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. සෞඛ්‍ය සේවාවේ සෑම නිලධාරියෙකුටම තම තමන්ගේ ශ්‍රේණියට හා වගකීමට අනුව රාජකාරී පැවරෙන අතර, සියලුදෙනා කණ්ඩායම් හැඟීමෙන් හා අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළ විට පමණක් රෝගී ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා අඛණ්ඩ සෞඛ්‍ය සේවාවක් ලබාදිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

තමන් වෙත පැවරෙන වගකීම් ඉහළ වෘත්තීයභාවයකින්, කැපවීමෙන් හා විනයකින් යුතුව ඉටු කරන සෑම සේවකයෙකුටම සෞඛ්‍ය සේවාවේ ගෞරවනීය කාර්යභාරයක් ඉටු කළ හැකි බව සඳහන් කළ අමාත්‍යවරයා, එවැනි කැපවීමකින් සේවය කිරීමට සූදානම් පුද්ගලයන් පමණක් සෞඛ්‍ය සේවයට එක්විය යුතු බව අවධාරණය කළේය. එමෙන්ම, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විනය, වගකීම සහ වෘත්තීය ආචාරධර්ම සම්බන්ධයෙන් අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර, ඒ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම සදහා ලබන 7වන දින සිට 9වන දින දක්වා තෙදින විශේෂ ප්‍රායෝගික හා න්‍යාත්මක පුහුණුවක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සැලසුම්කර ඇති අතර එම පුහුණුව ද සොයිසා කාන්තා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් වීදියේ කාන්තා රෝහල සහ කොළඹ ජාතික රෝහල යන රෝහල්වල පැවැත්වීමට නියමිතය.

මෙරට සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය සහ අභ්‍යන්තර ආධාරක භූමිකාවක් ඉටු කරන සෞඛ්‍ය කාර්ය සහායක (SKS) සේවාව, රෝහල් පද්ධතියේ දෛනික ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරයි.

මෙම බඳවාගැනීම හරහා රෝහල් පද්ධතිය තුළ පවතින සෞඛ්‍ය කාර්ය සහායක මානව සම්පත් හිඟය සැලකිය යුතු ලෙස අවම කරමින්, සෞඛ්‍ය සේවා සැපයීමේ වේගය, කාර්යක්ෂමතාව සහ ප්‍රතිචාරාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම රජයේ ප්‍රතිපත්තිමය අරමුණක් බවද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව, රෝගී ජනතාවට කඩිනම්, සුරක්ෂිත සහ මානුෂීය සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය ආයතනික හා මානව සම්පත් පදනම තවදුරටත් ශක්තිමත් වනු ඇත.

මෙම උත්සවය අමතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන යන මහත්වරුන්ද අදහස් පළකර සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන කේ.පී. යේගචන්ද්‍ර, හර්ෂනී සිරිනාම යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *