වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වුණා කියමින් මෙරට තෙල් මිල වැඩි කළත් අද බොරතෙල් බැරලයක මිල යුද්ධයට පෙර තිබූ තත්ත්වයටම පහළ වැටී ඇති බවත් ලෝක තෙල් මිල වැඩි වන විට ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් ලෝකයේ තෙල් මිල අඩු වන විට අප රටේ ද තෙල් මිල අඩුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ භ්එසදබ ඛ්බන් ආයතනයේ මුදල් වංචාවක් නිසා අසරණ වූ ජනතාව ඊයේ සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ය.
අප රටේ තෙල් සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කරන බවත් මොවුන් බලයට පැමිණියේ මේ බදු ඉවත් කර වරායේ ගොඩබාන මිලට තෙල් දෙනවා කියා වුවත් අද වන විට වරායේ ගොඩබාන මිලට හෝ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වන විට පවා අඩු මිලට තෙල් ලබා දෙන්නට රජයට නොහැකි වී ඇති බවත් මේ නිසා ජනතාව රජය කෙරෙහි බරපතළ අවිශ්වාසයකින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඉරානය සහ ඇමෙරිකාව සාම සාකච්ඡා කරන්න සූදානම් වන විට තෙල් මිල අඩුවී ඇති මොහොතක මෙරට තෙල් මිල අඩු කිරීමට රජය කටයුතු නොකරන බවත් ඔවුන් බොරුවයි වංචාවයි මුසාවයි පමණක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය බලයේ සිටිනවා නම් තෙල් මිල වැඩි වන විට වැඩි කරනවා සේම අඩු වන විට අඩු කරන බවත් වත්මන් රජය කරන්නේ බොරුවෙන් ජනතාව අනාථ කිරීම පමණක් බවත් මේ නිසා දේශපාලනඥයන් කෙරෙහි ජනතාව අවිශ්වාසයෙන් කටයුතු කරන බවත් හෙතෙම පැවසීය. මහජන නියෝජිතයන් ලෙස සමගි ජන බලවේගයේ දේශපාලනඥයන් මුදලට අලෙවි නොවන බවද ජනතාවගේ දුක වෙනුවෙන් පමණක් පෙනී සිටින අතර වහාම ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල අඩු විය යුතු යැයි මතයේ සමගි ජන බලවේගය සිටින බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.