ශ්රී ලාංකේය සංගීතයට සහ කලාවට කළ අනුපමේය මෙහෙවර අගයමින්, අභාවප්රාප්ත ප්රවීණ විශාරද ආචාර්ය නන්දා මාලිනිය වෙනුවෙන් අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන ජාතික ශෝක කාලයක් ලෙස රජය විසින් ප්රකාශයට පත් කර තිබේ.
නාවල පිහිටි සිය නිවසේදී බ්රහස්පතින්දා (20) දින අභාවප්රාප්ත වන විට ඇය 82 වන වියේ පසුවූවාය.
1943 අගෝස්තු 23 වන දින උපත ලැබූ නන්දා මාලිනිය, දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්රය පෝෂණය කළ විශිෂ්ටතම ගායන ශිල්පිනියකි. ඇය සිය සංගීත ජීවිතය තුළ හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 11ක් සහ ජනාධිපති සම්මාන 8ක් ඇතුළු දෙස් විදෙස් ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.