වරායේ බහාලුම් කිසිම දේශපාලන බලපෑමක් මත නිදහස් වී නැති බවත්, කන්ටේනර් 323 පිළිබඳ ප්‍රශ්නය මේ වනවිට ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බැවින් එම පරීක්ෂණයෙන් අනතුරුව අදාල නිසි පිළිතුරු රටට ලැබෙනු ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමින්ද විජේසිරි සහ දයාසිරි ජයසේකර මතුකළ කරුණුවලට පිළිතුරු දෙමිනි.
ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“වරායේ බහාලුම් කිසිම දේශපාලන බලපෑමක් මත, ජනාධිපතිවරයාගේ, ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ බලපෑමක් මත එකක්වත් නිදහස් වෙන්නේ නෑ. එහෙම ඉතිහාසයේ තිබිලා ඇති. එහෙම නිදහස් කරලා නෑ. එහෙම නිදහස් කරන්න බලයකුත් නෑ.”
“රටේ සංවාදයට ලක් වෙලා තියනවා කන්ටේනර් 323ක් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට අපිවත් සම්බන්ධ කරලා තියනවා බොහොම උනන්දුවෙන්. ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා තියනවා. ඒ පරීක්ෂණවලින් මම හිතනවා රටට පිළිතුරු ලැබෙයි. ඒ පිළිතුරු ලැබෙන එක හොඳයි.”
“ඒ ගැන මට කියන්න තියෙන්නේ එපමණයි. අනික් කිසිම දෙයක් අපේ මත නිදහස් කරලත් නෑ. කරන්නෙත් නෑ. කරන්න දෙන්නෙත් නෑ. ඒ වගේම වරායේ සිද්ධ වෙච්චි මහා පරිමාණ දූෂණ අපි පරීක්ෂණ පටන් අරන් තියනවා.”
කන්ටේර්න 323 සම්බන්ධව ප්‍රශ්නය රජයට බරපතල චෝදනාවක් එල්ල වී ඇති බවත් ඒ කන්ටේනර් තුළ තිබුණේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ බවට දැන් ජනතා මතයක් ගොඩනැගී ඇති බවත් අද පාර්ලිමේන්තුවේ දී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේය. මේ කන්ටේනර් තොගය ගෙන්වූ නියෝජිතයා සම්බන්ධව හෙළි කරන ලෙස මන්ත්‍රීවරයා වරාය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
යළිත් ඇමතිවයා මෙසේ කීවේය.
“ඒ පිළිබඳව කලින් මන්ත්‍රීතුමාට උත්තර දුන්නා. මෙතුමා සීඅයිඩී එකට කැඳවලා තියනවා. මෙතුමා තමයි මට වඩා ඒ ගැන දන්නේ. ඒ පරීක්ෂණවලින් ඔප්පු කරන්න. අපරාධ පරීක්ෂණවලට උත්තර දෙන්න.” වරාය ඇමති බිමල් රත්නායක පැවසුවේය.
ජනාධිපතිවරයා මැතිවරණයට කලින් ජර්මනියට ගොස් ඩයස්පෝරාව මුණගැසුනු බවත්, තායිලන්තයේ තිබූ ප්‍රභාකරන්ගේ ආයුධ තොගය කුමරන් පද්මනාදන් හරහා ලංකාවට ගෙනා බවත් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ප්‍රකාශ කළේය.
රාමනාදන් අරචුනා කීවේ එම ගිනි අවි කන්ටේනර් තොගය වළ දමා ඇති බවය. මෙය තමන්ට ඔප්පු කළ නොහැකි නමුත් කන්ටේනර් 323ක තිබුණේ ප්‍රභාකරන්ගේ ගිනි අවි බව ඔහු කීවේය. ආණ්ඩු පක්ෂය අභියෝග කළේ හැකිනම් මේ ප්‍රකාශය සභාවෙන් පිටතට ගොස් කියන ලෙසය.