යාපනය සරසවි ශිෂ්‍ය සංගමය නිදහස් දින කළු දිනයක් ලෙස ප්‍රකාශ කරයි

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ශ්‍රී ලංකාවෙ නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇති අතර එයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන නියෝජිතයන් අධිකරණයට කරුණු දක්වා තිබේ. 

ශ්‍රී ලංකාවේ 76 වන නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට සියළු කටයුුතු සූදානම් කර ඇති පසුබිමක මෙම දිනය වර්ජනය කරමින් කළු පැල්ලමක් එක් කරන්නට යම් කණ්ඩායම් කොටසක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙය දේශීය මෙන්ම විදේශීය වශයෙන්ද මෙරට අපකීර්තියට සහ අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක් ලෙස සෘජුවම පෙන්වා දිය හැකි අතර මෙහි යටි අරමුණ දීර්ඝකාලීන බෙදුම්වාදයක නැවත මුලපිරීමක්දැයි මේ වන විට ගැටළුවක් මතුවෙමින් පවතී.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමය විසින් පසුගිය ජනවාරි 26 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර දෙමළ ප්‍රජාවගේ ඉල්ලීම් ඉටු නොකිරීමට විරෝධය පළ කරමින්  පෙබරවාරි 04 ‘කළු දිනයක්’ (ශෝක දිනයක්) ලෙස ප්‍රකාශයට පත් කිරීම හා එදින වර්ජනය කරන ලෙස දැනුවත් කර ඇත.

මෙම වර්ජනය සඳහා වන ඉල්ලීමට සහාය දෙන ලෙස එම සංගමය නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන්, ක්‍රියාකාරීන්ගෙන්, ආගමික නායකයන්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් ද ඉල්ලා ඇත. මෙහිදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය, උතුරු නැගෙනහිර පළාත්වල ස්ථිර දේශපාලන විසඳුම, ආගමික ස්ථාන ඉදිකිරීම, සිංහල ජනාවාස ඉදිකිරීම, දෙමළ දේශපාලන සිරකරුවන් යැයි කියනු ලබන පුද්ගලයන් නිදහස් කිරීම, අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය සහ සියලු වාණිජ කටයුතු නවත්වන ලෙස ඉල්ලා සිටීම වැනි කරුණුද ඇතුළත් කර ඇත.

මෙයට අමතරව නිදහස් දින සැමරුම් වර්ජනය කරන ලෙස ඉල්ලා දෙමළ ජාතික සන්ධානය (TNA) ද එවැනිම අදහස් ප්‍රකාශ කර ඇති අතර මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් ද නිදහස් දින කළු දින විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම ක්‍රියාවන්ට එරෙහිව එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිහල රාවය සංවිධානය හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එක්ව කටයුතු කර ඇත. එහිදී මේ පිළිබඳව පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ථ විමර්ෂණ ඒකකය වෙත පැමිණිලි කරමින් එම සංවිධානය චෝදනා කරන්නේ යාපනය විශ්ව විද්‍යාළයේ මහා ශිෂ්‍ය සංගම් සභාපති කුගදාසන් තුවාකරන් නැමැත්තා ද්‍රවිඩ ජාතික සංවිධානයේ නව නායක එස් ශ්‍රීධරන් මෙන්ම වෙනත් ජාතිවාදී කණ්ඩායම් විසින් උතුර වෙනම දේශයක් ලෙසත් නිදහස් දිනය කළ දිනයක් ලෙසත් ප්‍රචාරණය කරන බවත් ඒ හරහා උතුරේ ජනතාව ත්‍රස්ථ ක්‍රියා සඳහා යොමුකරන බවය. මේ හරහා හිමි නොමැති ස්වයං නිර්ණ අයිතිය ඉස්මතු වන ආකාරයෙන් පෙලපාලි පවත්වමින් අහිසංක දෙමළ ජනතාව ත්‍රස්ථවාදයකට යොමු කිරීමේ කටයුත්තක ඔවුන් නිරත වන බවට වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

මේ අතර දෙමළ සම්බන්ධීකරණ කමිටුව (TCC) එක්සත් රාජධානිය, දෙමළ තරුණ සංවිධානය, දෙමළ ඊලම් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කවුන්සිලය, දෙමළ සම්බන්ධීකරණ කමිටුවද නිදහස් දිනයට එරෙහිව විවිධ ක්‍රියාකාරකම් මේ වන විට සූදානම් කර ඇති අතර ජාත්‍යන්තර ඊළාම් දෙමළ කවුන්සිලය සහ දෙමළ සහයෝගීතාව ද නිදහස් දිනය දෙමළ ජනතාව සඳහා “කළු දිනයක්” ලෙස ප්‍රකාශයට පත් කළේය.

මෙයට අමතරව දෙමළ ජනතාවගේ අයිතීන්, ස්වයං නිර්ණය සහ දෙමළ ඊළම පිළිගැනීමට සහය දැක්වීම සඳහා විවිධ ඊළාම් හිතවාදී විදේශගත කණ්ඩායම් මූලිකත්වයෙන් ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිටද, ප්‍රංශයේ පැරිස් නුවරද, එංගලන්තයේ ලන්ඩන් නුවරද, බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේද, ජර්මනියේ බර්ලින් නුවරද, සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *