පාට වතුර බෝතල්වල BPA පිළිකාකාරකය – හරියටම බලලා වතුර බෝතල් ඔබේ දරුවාට ගන්න

ප්‍රමිතියෙන් තොර, සෞඛ්‍ය අනාරක්ෂිත වතුර බෝතල් සොයා බැලීමකින් තොරව වර්ණය සහ මෝස්තර පමණක් බලා මිලදී ගන්නා නිසා ඒවා භාවිතා කරන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වයට දිගුකාලීනව ඇති කරන්නේ අයහපත් බලපෑමකි. ඒ එම වතුර බෝතල් නිෂ්පාදනය සඳහා ඇතැම් ප්ලාස්ටික් වර්ගවල බීස්ෆීනෝල් ඒ (BPA) නම් පිළිකා කාරක රසායනිකය අඩංගු විය හැකි බැවිනි.

BPA අඩංගු ප්ලාස්ටික් භාජන දිගු කාලයක් තිස්සේ භාවිතා කිරීම ශරීරයට ඉතාම අහිත කර බව පර්යේෂණ මඟින් මේ වනවිට සනාථ වී ඇත. වෛද්‍යවරු පවසන අන්දමට මෙවන් භාජන නිසා පීනස, හතිය සහ සම මතුපිට දද වැනි රෝග තත්ත්වයන් වැළඳීමේ අවදානමක් ද ඇත. එයින් නොනැවතී, ඇතැම් විටෙක මෙම අහිතකර බලපෑම පිළිකා කාරක තත්ත්වයක් කරා වුවද වර්ධනය වීමට හැකියාවක් තිබේ. එම නිසා භාවිතයට සුදුසු යැයි දැක්විය හැක්කේ මෙම BPA අඩංගු නොවන ප්ලාස්ටික් බඳුන්ය.

සාමාන්‍යයෙන් භාණ්ඩ නිෂ්පාදනයට යොදාගන්නා ප්ලාස්ටික් කාණ්ඩ වර්ග හතකි. එනම්,

  1. පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET හෝ PETE හෝ පොලියෙස්ටර්)
  2. අධි-ඝනත්ව පොලිඑතිලීන් (HDPE)
  3. පොලිවිවයිල් ක්ලෝරයිඩ් (PVC)
  4. අඩු ඝනත්ව පොලිඑතිලීන් (LDPE)
  5. පොලිප්රොපිලීන් (PP
  6. පොලිස්ටිරින් (PS)
  7. වෙනත්

මේවා අතරින් වතුර බෝතල් නිෂ්පාදනය කිරීමට යොදාගැනෙන්නේ කාණ්ඩ අංක 1, 4, 5 හා 7 වේ.

එක්වරකට වඩා භාවිතා කිරීමේදී BPA මුදාහැරීම සිදුවන නිසා කාණ්ඩ අංක 1 යටතේ නිෂ්පාදනය වන වතුර බෝතල් වරකට වඩා භාවිතා කිරීමට නිර්දේශ නොකෙරේ.

කාණ්ඩ වර්ග 4 හා 5 BPA රහිත ප්ලාස්ටික් වන අතර වතුර බෝතල් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු වන්නේ මෙම කාණ්ඩවලට අයත්වන ප්ලාස්ටික් වේ. එම නිසා මෙම කාණ්ඩ 4, 5 ප්ලාස්ටික් යොදා නිපදවන භාජන යළි යළිත් භාවිතා කිරීම සුදුසු වන අතර එය සෞඛ්‍යාරක්ෂිත ද වේ.

කාණ්ඩ අංක 7ට අයත් වන පොලිකාබනේට් (Polycarbonate/ PC), වතුර බෝතල් නිෂ්පාදනය සඳහා කිසිසේත් සුදුසු නොවේ.

නමුත් අවාසනාවකට වර්තමාන වෙළෙඳපොළේ දක්නට ලැබෙන බොහෝ වතුර බෝතල් නිසි ප්‍රමිතියකින් තොර මෙරටට ආනයනය කළ පොලිකාබනෙට් (කාණ්ඩ අංක 7) ඝනයට අයත් වන ඒවා වන අතර ඒවා දරුවනට ලබාදීම මඟින් ඇතිවිය හැකි සෞඛ්‍ය හානි පිළිබඳ බොහෝ දෙමව්පියන්ට දැනුමක් නොමැත.

පර්යේෂණ සොයාගැනීම්

ඇමරිකාවේ හාවඩ් සරසවියේ පර්යේෂකයෙකු වන ආචාර්ය ජෙනී කාවිල්ගේ ප්‍රමුඛත්වයෙන් සරසවි සිසුන් 77 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2008 වසරේදී සිදුකළ පර්යේෂණයකදී එම සිසුන්ට වානේ බෝතල්වල සහ පොලිකාබනෙට් (කාණ්ඩ අංක 7) බෝතල්වල දැමූ ජලය සතිය බැගින් පානය කිරීමට ලබාදුන් අතර එක් එක් සතිය අවසානයේදී ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කරන ලදී.

පොලිකාබනේට් (කාණ්ඩ අංක 7) බෝතල්වලින් ජලය පානය කළ සතිය අවසානයේදී කළ පරීක්ෂාවට අනුව සිසුන් 77 දෙනාගේම මුත්‍රා සාම්පල තුළ BPA අඩංගු බව තහවුරු විය.

මේ පිළිබඳ ස්කොට් බෙල්චර් නම් තවත් පර්යේෂකයෙකු හා ඔහුගේ කණ්ඩායම විසින් සිදුකළ පර්යේෂණයකට අනුව පොලිකාබනෙට් (කාණ්ඩ අංක 7) යොදා නිෂ්පාදනය කර ඇති බෝතලයකට උණු වතුර දැමූ විට BPA ජලයට එකතුවීමේ ශීඝ්‍රතාවය 55 ගුණයකින් වැඩිවන බව හෙළි වී ඇත.

මේ අනුව පොලිකාබනේට් (කාණ්ඩ අංක 7) යොදා සැකසූ ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල් ශරීර සෞඛ්‍යයට කෙතරම් නම් අහිතකර ද යන්න පැහැදිලි විය යුතුය. මෙම නිසි ප්‍රමිතියකින් තොරව හිතුමතේ ආනයනය කරන ප්ලාස්ටික් වතුර බෝතල් දරුවන්ට ලබාදීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය දැඩි ලෙස අනතුරේ හෙළන්නක් බව අමුතුවෙන් කිවයුතු නැත.

එබැවින් මීළඟ පාසල් වාරය සඳහා උනන්දුවෙන් යුතුව සැරසෙන දරුවන් වෙනුවෙන් මිලදී ගන්නා වතුර බෝතලය සෞඛ්‍යාරක්ෂිත බවින් යුතුද? නිසි ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර ඇතිද? අදාළ ප්‍රමිති සහතික ආදිය ලබාගෙන තිබේද? යන්න පිළිබඳ පරීක්ෂා කිරීම දෙමාපියන් සතු වගකීමක් බව පැවසිය යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *