පාලකයන් ධාර්මිකව කටයුතු කළහොත් ස්වභාවධර්මයෙන්ද නිසි පරිදි වැසි ලැබෙන බව බුදු දහමේ සඳහන් වන බව හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින කාලගුණික හා ස්වභාවික විපර්යාස පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවයි.
“බුදුහාමුදුරුවොත් කියලා තියෙනවා ‘දේවෝ වස්සතු කාලේන’ කියලා. ඒ කියන්නේ පාලකයෝ ධාර්මික වුණොත් තමයි ස්වභාවධර්මයෙනුත් වැසි වසින්නේ” යනුවෙන් සරත් වීරසේකර මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේදී රටට බලපෑ විවිධ ස්වභාවික හා කාලගුණික තත්ත්වයන් පිළිබඳවද ඔහු මෙහිදී අවධානය යොමු කළේය.
“ඉස්සෙල්ලා ඩිට්වා ආවා, දැන් එල්නිනෝ ආවා, ඊට පස්සේ ගංවතුර, ඊට පස්සේ නායයෑම්. මේ එන්නේ මොකද කියන එක ඇත්ත වශයෙන්ම අපි දැනගන්න ඕනේ” යනුවෙන් ඔහු පැවසීය.
එමෙන්ම ඉදිරියේදී රට තුළ ජල හිඟයක් හෝ වෙනත් ස්වභාවික ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා රජය පෙර සූදානමකින් සිටිය යුතු බවද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.
රජයක් බලයට පත්වූ පසු එහි මූලික වගකීම වන්නේ ජනතාව මුහුණ දෙන ගැටලුවලදී ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම බවද ඔහු සඳහන් කළේය.
“දැන් වතුර හිඟයක් එනවා නම් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඔවුන් සූදානම් වෙලා ඉන්න විදිය යුතුයි. ඒක තමයි ඔවුන්ගේ යුතුකම” යනුවෙන් සරත් වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.