‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ.
එම ජංගම දුරකථන යෙදවුම අද (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර ගෙන තිබුණි.
මෙම ජංගම දුරකථන යෙදවුම හරහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථ වාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම හැකිය.
මෙම යෙදුමේ ඇති Camera option icon හෝ Video option icon භාවිතයෙන් රථවාහන වැරදි සම්බන්ධයෙන් හා මාර්ග ආශ්‍රිතව සිදුවන අනෙකුත් සිදුවීම් සම්බන්ධයෙන් ඡායාරූප සහ වීඩියෝපට මෙම ගිණුම හරහා පොලිස් මූලස්ථානය වෙත යොමු කළ හැකි බව පොලීසිය පවසයි.
එලෙස ලබා දෙන තොරතුරු අනුව රථවාහන වැරදි සිදු කරන රියදුරන් හා අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කර ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථාන හා පොලිස් අංශ වෙත යොමු කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කරනු ඇත.