ක්ලබ් වසන්තව ඝාතනයට ටැටූ ආයතනයේ හිමිකරුත් අල්ලයි – සියල්ලම මාස 03ක සැලසුමක්

ඩුබායිහීදී 2019 වසරේදී පාතාල කල්ලි නායකයෙකු වූ මාකදුරේ මධූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියට ක්ලබ් වසන්ත ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මාකදුරේ මධූෂ් සතු රුපියල් කෝටි 100ක මුදලක් ද ක්ලබ් වසන්ත භාරයේ තිබූ බවටයි වාර්තා වුණේ.

එම මුදල් තමන්ට ලබාදෙන ලෙසට කංජිපානි ඉම්රාන් විසින් ක්ලබ් වසන්තට අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇති බවටද වාර්තා වනවා.

කෙසේවෙතත් ක්ලබ් වසන්ත විසින් එම මුදල් ලබාදී නැහැ.

ඒ අනුව මීට මාස කිහිපයකට පෙර නුවරඑළිය ප්‍රදේශයේදී ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට සැලසුම් සකස් කළ ද එය ව්‍යාර්ථ වී තිබෙනවා.

එවන් පසුබිමක් තුළ ක්ලබ් වසන්ත අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කිරීම මාස 03ක කාලයක සිට සැලසුම් කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

අදාළ ටැටූ ආයතනයේ හිමිකරු ද මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.    

ඒ අනුව පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුට ටැටූ ගැසීම සඳහා හැකියාවක් තිබුණ ද ඒ සඳහා ආයතනයක් පවත්වාගෙන යාමට මුදල් නොතිබූ බවයි වාර්තා වුණේ.

ඒ අනුව බලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරෙකු හරහා විදේශගත පුද්ගලයෙකු සමඟ සබඳතා පවත්වා තිබෙනවා.

එහිදී විදේශගත පුද්ගලයා ටැටූ ආයතනයක් ආරම්භ කිරීමට මුදල් ලබාදීමට ද එකඟතාවය පළකර ඇති අතර ඒ සඳහා ඔහු විසින් මුදල් ලබාදී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. 

අදාළ ටැටූ ආයතනය විවෘත කිරීම සඳහා උත්සවයක් සංවිධාන කරන ලෙසත් ඊට ක්ලබ් වසන්ත ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශගත පුද්ගලයා විසින් ටැටූ ආයතනයේ හිමිකරුට දැනුම් දී තිබෙනවා.

ඒ අනුවයි ඔහු විසින් සමාජ මාධ්‍ය හරහා ක්ලබ් වසන්තට එම විවෘත කිරීමේ අවස්ථාවට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇත්තේ.

එම ආරාධනාව පිළිගත් ක්ලබ් වසන්ත, ඔහුගේ බිරිඳ මෙන්ම ගායන ශිල්පිනී    කේ සුජීවා ඇතුළු පිරිසක් ඊයේ දිනයේ පැමිණ තිබෙනවා. 

එහිදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තප්පර 17ක් ඇතුළත අදාළ පිරිසට වෙඩි තබා පලාගොස් තිබුණා.

එම වෙඩි තැබීම හමුවේ ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්තගේ බිරිඳ, කේ සුජීවා ඇතුළු තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

කේ සුජීවා සහ තවත් පුද්ගලයෙකු අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

වෙඩි ප්‍රහාරයට ලක් වූ කේ සුජීවාගේ එක් පාදයකට දැඩි හානි සිදුව තිබෙනවා.

ඇය ශෛල්‍යකර්මයකට ද යොමුකළ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ක්ලබ් වසන්තගේ බිරිඳ සහ තවත් කාන්තාවක් ඇතුළත් කෙරුණේ හෝමාගම මූලික රෝහලටයි. ක්ලබ් වසන්තගේ බිරිඳ ඊයේ රාත්‍රියේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර බුලත්සිංහල, අයගම, දෙල්මැල්ල ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී වෑන් රථයක් සොයාගෙන තිබෙනවා.

ඒ, 119 හදිසි දුරකථන අංකයට ලද තොරතුරකට අනුවයි. 

අතුරුගිරියේ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරුවන් වෙඩි තැබීම සිදුකර පළමුව මෝටර් රථයකින් පලාගොස් තිබුණා.

එය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ අතහැර දමා වෑන් රථයකින් පලාගොස් තිබූ බවයි පොලිසීය පැවසුවේ.

බුලත්සිංහල ප්‍රදේශයේ තිබී එලෙස සොයාගෙන ඇත්තේ වෙඩික්කරුවන් පලාගිය වෑන් රථය බවට පොලිසිය සැක කරන බවද වාර්තා වනවා.

මේ අතර අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *