වසර 10ක් තිස්සේ කොළඹ නගර සභාවේ නිල නිවාස 397ක් රුපියල් 3 බැගින් බදු දී ඇති බව හෙළි වෙයි

කොළඹ මහා නගර සභාවට අයත් නිල නිවාස 397ක් නගර සභාවේ නොවන සේවකයන්ට පරිහරණය පිණිස ලබා දීම පිටුපස විශාල මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි වාර්තා වේ. අදාළ නිවාස වෙනුවෙන් කොළඹ මහා නගර සභාවට ගෙවා ඇත්තේ මසකට රුපියල් 3 සිට රුපියල් 200 දක්වා ඉතා අවම මුදලක් බවද දැනගන්නට ඇත.

ඒ අනුව කොළඹ නාගරික බල ප්‍රදේශයේ ඉතා වටිනා නිල නිවාසවලින් 2023 වර්ෂය වෙනුවෙන් ගිණුම්ගතව ඇත්තේ රුපියල් 180,043ක් පමණකි. අදාළ නිල නිවාස නගර සභාවේ විශ්‍රාම ලත් සේවකයන් විසින් පරිහරණය කරනු ලබන බවට කොළඹ මහා නගර සභා රැස්වීම්වලදී සාකච්ඡාවට බඳුන් වී ඇති නමුත්, ඒ වෙනුවෙන් එකල සිටි නගරාධිපතිනිය කිසිදු පියවරක් ගෙන නැත.

මේ පදිංචිකරුවන් වසර 10කට වැඩි කාලයක් මෙලෙස අදාළ නිල නිවාස අවභාවිත කර පරිහරණය කරන නමුත් ඔවුන්ට ජල විදුලි පහසුකම් පවා සපයා ඇත. නිල නිවාස ඔවුන්ට ලබා දී මහා නගර සභාවේ කිහිප දෙනකු විසින් ඔවුන්ගෙන් මාසික මුදල් ගෙන ඇති නමුත්, ඒ පිළිබඳව නිවැසියන් පැමිණිලි නොකිරීම නිසා මෙසේ දිගින් දිගටම මේ තත්ත්වය වර්ධනය වන බවත් දැනගන්නට ඇත.

අදාළ නිල නිවාස සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා කොළඹ මහ නගර සභාවෙන් විමසා ඇති නමුත් ඊට නගර සභාව පිළිතුරු දී නැත. විගණකාධිපතිවරයා විසින් ‍ඊට අදාළ නිර්දේශය ලෙස දක්වා ඇත්තේ නිවාස නැවත පවරාගෙන ඉඩම් නිදහස් කරගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛතාව දිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *