ශ්‍රී ලංකාවේ ප්‍රථම පොදු උණුසුම් පිහිනුම් තටාකය බණ්ඩාරවෙලදී ඉදිකිරීම ක්‍රිඩා ඇමති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම පොදු උණුසුම් පිහිනුම් තටාකය (heated swimming pool) ඉදිකිරීමේ කටයුතු අඟහරුවාදා (07) බණ්ඩාරවෙලදී ආරම්භ විය. ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු යටිතල පහසුකම් සඳහා අවස්ථාව සලසා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව රජය පවසයි.

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබූ අතර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ රුපියල් 144,191,250ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මෙය ඉදි කෙරේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේ, තරුණ පරපුර අපරාධවලින් මුදවා ක්‍රීඩාව දෙසට යොමු කිරීමට රජය කැපවී සිටින බවයි. “අපට අවශ්‍ය වන්නේ සිරකරුවන් බිහි කරනවා වෙනුවට රටට දායක විය හැකි විනයගරුක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් බිහි කිරීමටයි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ග්‍රාමීය ප්‍රජාවන්හි සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන ක්‍රීඩා පහසුකම් ලබා දීම රජයේ ප්‍රමුඛතම අරමුණක් බවත්, එමගින් ඔවුන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකව තරඟ කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *