ඇවන්ගාඩ් සමාගම විසින් රක්නා ලංකා සමාගමට ඩොලර් තුන්ලක්ෂ තිස්දහසකට අධික මුදලක් ගෙවීමට ඇති බවත් එම මුදල වහා අය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් පොදු ව්‍යපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුකාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා රක්නා ලංකා සමාගමේ බලධාරින්ට උපදෙස් ලබාදී ඇත. අදාළ සමාගම විසින් මුදල නොගෙවන්නේනම් අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර නීතිමය පියවර ගැනීමට කටයුතු කරන ලෙස ද අනු කමිටු සභාපතිවරයා නියෝග කර ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ බලධාරීන් දැනුවත් කර ඇති අතර අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බව ද රක්නා ලංකා සමාගමේ බලධාරීන් කාරක සභාව වෙත දැනුම් දී තිබේ. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අනු කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වූ අතර එහිදී මේ බව අනාවරණය වී ඇත.
රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ් (RALL) ආයතනය එහි මෙහෙයුම් සහ ඇවන්ගාඩ් සමාගම සමඟ පවතින දීර්ඝකාලීන හවුල් ව්‍යාපාර ගිවිසුම පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා කෝප් අනුකාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය. මුහුදු ආරක්ෂක කටයුතු පවත්වාගෙන යෑම වෙනුවෙන් නාවික හමුදාව, රක්නා ලංකා සමාගම හා ඇවන්ගාඩ් සමාගම විවිධ වකවානුවලදී ගිවිසුම් ගතව කටයුතු කර ඇති අතර, මෙහිදී ආදායමෙන් සියයට අසූවක ආදායමක් ලබාඇත්තේ ඇවන්ගාඩ් සමාගම බව ද රක්නා ලංකා සමාගමේ බලධාරීහු කාරක සභාව හමුවේ අනාවරණය කළහ.
කාරක සභාව ඇමතූ රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ්හි සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් ජූඩ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට වත්මන් කළමනාකාරීත්වය වගකිව යුතු නොවන බවයි. පූර්ව නිලධාරීන් විසින් අත්සන් කරන ලද හවුල් ව්‍යාපාර ගිවිසුම තවදුරටත් බලපැවැත්වෙන බව ද හෙතෙම පැවසීය.
ශ්‍රී ලංකා මුහුදු තීරය හරහා ගමන් කරන නැව්වල ඇති ගිනිඅවි, අන්තර්ජාතික රෙගුලාසි නිසා ගොඩබිමට ගෙන ඒමට නොහැකි බැවින්, ගාල්ල වරායෙන් බාගෙන පාවෙන ගිනිඅවි ගබඩාවල තැන්පත් කරන බව සභාපතිවරයා පැහැදිලි කළේය. ඒ අනුව අනුව ගිනිඅවි තුනක් ගබඩා කිරීම සඳහා ඩොලර් 1,800 ක පමණ මුදලක් අය කෙරෙන අතර, එම ගිනිඅවි නැවත ලබාදීමේදී තවත් ඩොලර් 1,800 ක මුදලක් අය කරන බව ද හෙතෙම පැවසීය.
හවුල් ව්‍යාපාර ගිවිසුම යටතේ ලාභයෙන් 80% ක් පෞද්ගලික සමාගම වෙත වෙන්කර ඇති අතර, ඉතිරි 20% සියයට පහළොවක් ශ්‍රී ලංකා නාවික හමුදාවටත් සියයට පහක් රක්නා ලංකා සමාගම අතර බෙදී ගොස් ඇත.
මෙහෙයුමේ ලාභදායීත්වය පිළිබඳව කෝප් අනුකාරක සභාවේ සභාපති අසිත නිරෝෂන එගොඩවිතාන මහතා මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසුවේ, එය දැනට මසකට ඩොලර් 400,000 ක පමණ ආදායමක් උපයන අතර, එම මුදලින් 80% ක්ම අදාළ පෞද්ගලික ආයතනයට හිමිවන බවයි.
ඇවන්ගාඩ් සමාගම සමඟ ඇති ගිවිසුම අත්හිටුවීමට නීතිමය බාධා තිබේදැයි විමසූ විට ඔහු පැවසුවේ ගිවිසුම 2027 දක්වා වලංගු වන බැවින් නීතිමය බාධා පවතින බවයි. මෙම වැඩපිළිවෙළට අනුමැතිය දුන්නේ කවුරුන්දැයි කෝප් කාරක සභා මන්ත්‍රී ප්‍රගීත් මධුරංග ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් රක්නා අරක්ෂක ලංකා ලිමිටඩ්හි නීති ප්‍රධානි හිමාෂා මුණසිංහ පැවසුවේ 2009 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි. මෙම කරුණ පාලක මණ්ඩල මට්ටමේ තීරණයක් පමණක් නොව ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වන්නක් බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා,
“රක්නා ලංකා ආයතනය ප්‍රධාන සේවා පහක් යටතේ ක්‍රියාත්මක වෙනවා. දැන් සාමාන්‍යයෙන් මුදල් වර්ෂය පටන් ගන්නේ අප්‍රේල් 01 වැනිදා. ආයතනයේ සැලසුම් වෙනුවෙන් අමාත්‍යාංශයට යොමුකර අවශ්‍ය අනුමැතින් ලබාගත යුතුයි. නමුත් ඒ වෙනුවෙන් යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා. මීට කලින් වසරවල අනුමැතියක් අරන් තිබෙනව ද?“
පිළිතුර,
“ඔව්. අරන් තිබෙනවා. මෙවර යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා.“
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“මම ඇත්තටම 2024 වර්ෂයේ භාරගත්තේ. ඒ වෙනකොට අවසන් කර තිබුණේ 2020 /2021මුදල් වර්ෂයි. එතකොට මට සිදු වුණා, ඒ ඇරියස් එක කවර් කර මේක අවසන් කරන්න. පසුගිය වසර කිහිපයම හදලා අවසන් කරන්නට මට සිදු වුණා. ඒ ප්‍රමාද දෝෂයක් සිදුව තිබුණා. ඒක අවසන් කළා.වේගයෙන් අපි එය අවසන් කර තිබෙනවා.”
කමිටු සභාපතිවරයා:
“මෙම ආයතනය ආරම්භ කරන්නේ මොන අවුරුද්දෙද?“
රක්නා ලංකා සභාපතිවරයා:
“2008 වසර්ෂයේදී.”
කමිටු සභාපතිවරයා,
“මෙම ආයතනය ආරම්භ කිරීමේ අවශ්‍යතාව මොකක්ද? එය ආරම්භ කිරීම වෙනුවෙන් යෝජනාව එන්නෙ කොහෙන්ද?“
නීති නිලධාරිනිය:
“2006 වර්ෂයේදී කැබිනට් අනුමැතියක් යටතේ මෙම ආයතනය ආරම්භ කර තිබෙනවා. ප්‍රමුඛ ආරක්ෂක සමාගම ලෙස. ඉන් පසුව තමයි රක්නා ලංකා ආරක්ෂක සමාගම නමින් නම වෙනස් වෙන්නේ.”
කමිටු සභාපතිවරයා,
“කවදා ද සමාගමේ නම වෙනස් වන්නේ? ආයතනය ආරම්භ කිරීමේ අරමුණ මොකක්ද?”
නීති නිලධාරිනිය:
“2007 වර්ෂයේදී. ආරක්ෂක සේවාව සැපයීම වෙනුවෙන් වන සමාගමක් ලෙසයි මෙය ආරම්භ කරන්නේ. මම දන්න විදිහට මහා භාණ්ඩාගාරයට ප්‍රසන්ටේෂන් එකක් සිදුකර තිබෙනවා, ත්‍රිවිධ හමුදාවන්ගෙන් විශ්‍රාම ගන්නා සෙබළුන්ට විශාල කාලයක් ඉතිරි වෙනවනේ ඒ අයගේ විශ්‍රාම ගැනීමෙන් පසුවත්. අවුරුදු හැට කියන කාලයට පෙර ඒ අය විශ්‍රාම යනවනේ. ඒ අයට රැකියා ලබාදීමේ ප්‍රමුඛතාවයෙන් තමයි මෙම සමාගම පිහිටුවන්නේ 2006දී . ප්‍රධාන වශයෙන් ආරක්ෂාව සැපයීම තමයි මෙහි අරමුණ.”
කමිටු සභාපතිවරයා:
“ඒකද ප්‍රධාන අරමුණ”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“අවුරුදු 18 න් යුද හමුදාවට එකතු වන සොල්දුදාවෙක් සිය සේවා කාලය සම්පූර්ණ කර අවුරුදු 42 වනවිට විශ්‍රාම යෑමේ හැකියාව ලැබෙනවා. ඒ වගේ තරුණ අය සමාජය තුළ නිකං තියන්න ඕනේ නැහැ කියලා තමයි මේ ආයතනය ආරම්භ කර තිබෙන්නේ. ඒ අයට ආරක්ෂාව පිළිබඳව දැනුම වැඩියි. අත්දැකීම් වැඩියි. ඒ නිසා මුලින් ලෑන්ඩ් සිකියුරිටි කියන අපගේ ආයතනය තමයි ආරම්භ කර තිබෙන්නේ.”
කමිටු සභාපතිවරයා:
“ලෑන්ඩ් සිකියුරිටි පැත්තෙන් ආදායම් ලැබුවට ලාභ ලබන්නේ මෙරිටයිම්
සිකියුරිටිවලින් කියා ඉදිරිපත් කළ වාර්තාව තුළින් සඳහන් වුණා. ඒක වෙන්නේ කොහොමද? කියා පැහැදිලි කරන්න.”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“අපි ප්‍රධාන වශයෙන් අපගේ ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ගිය අය මුහුදේ තිබෙන නැව්වල ආරක්ෂාව වෙනුවෙන් සපයනවා. ඒ අය ආයුධත් එක්ක සැපයුවාම අපට වෙනම ගාණක් ගෙවනවා. ඒ අයට කියන්නේ සී මාර්ෂල් කියලා. සී මාර්ෂල් කෙනෙක් සැපයුවාම ගෙවිමක් කරනවා. ඩොලර්ස්වලින් තමයි ගෙවීම් කරන්නේ. ඒ නිසා තමයි අපගේ මෙරිටයිම් එකේ ආදායම් වැඩි. අපි ඒක තවම කරගෙන යනවා.”
කමිටු සභාපතිවරයා,
“දැනට සී මාර්ෂල්වරු කී දෙනෙක් සිටිනව ද?”
* රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“සාමාන්‍යෙයන් වරකට ගත්තොත් 350ක් විතර හැම තිස්සෙම නැව්වල ඉන්නවා අපේ අය .ඒවායින් තමා අපේ මෙරිටයිම් ආදායම ලැබෙන්නේ. අපි පඩි ගෙවනවා ඒ අයට. ඒ අය අපි ආරක්ෂක රාජකාරියට යොදවනවා.”
කමිටු සභාපතිවරයා:
“2007 වසරේ සිට ආයතනය ආරම්භ කළ දිනයේ සිට මේ දක්වාම සී මාර්ෂල්වරු රක්නා ලංකා සමාගමෙන් සපයා තිබෙනව ද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“ඔව්. රක්නා ලංකා සමාගමෙන් සපයා තිබෙනවා. මෙහෙම එකක් තිබෙනවා. සභාපතිතුමනි, අපි ඇවන්ගාඩ් කියන සමාගමත් එක්ක ජොන්න්ට් වෙන්චර් එකක් අත්සන් කරලා , අපි කිව්වට හිටපු අය. ඒ ජොයින්ට් වෙන්චර් එක තවම තිබෙනවා. ඒක අත්සන් කරලා ප්‍රධානම එකක් කරලා තිබෙනවා. මුහුදේ තිබෙන නෞකා ලංකාව හරහා යද්දි ගාල්ල වරායේ තමයි, ඒගොල්ලො ගොඩබහිනකොට ජාත්‍යන්තර නීතියක් තිබෙනවා. වෙන රටවල ආයුධ අපේ රටට ගේන්න බැහැ කියලා. නාවික හමුදා කඳවුරේ අපි තැන්පත් කරනවා ඒවා. ඒ තැන්පත් කිරීමට යම් මුදලක් ගන්නවා. ඩොලර් 1800ක වගේ මුදලක් අය කරනවා ආයුධ තුනක් වගේ තැන්පත් කරන්නට. ඒ අවි තුන නැවත ලබා දෙන්නත් ඩොලර් 1800ක් ගන්නවා. ඒ කාලේ තිබුණ ගණන්. ඒක තමයි අපගේ ප්‍රධානම ආදායම් මාර්ගය වෙලා තිබුෙණ්. නමුත් ජොයින්ට් වෙන්ඩර් එකක් කරලා ඒකේ ලාභය සියයට අසූවක් අර පෞද්ගලික සමාගමක් තමයි අරන් තිබුණේ.”
කමිටු සභාපතිවරයා
“සියයට අසූවයි දශම හතයි පහක් ද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“නැහැ. සියයට අසූවයි. ඉතිරි සියයට විස්සෙන් පහළොවක් නාවික හමුදාවට. පහක් අපට.”
කමිටු සභාපතිවරයා:
“ඒක කොතැනදි ද ඕගොල්ලන්ට අහිමි වෙන්නේ? මොන අවුරුද්දෙද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
ඒක සභාපතිතුමනි, මේ රජය ආපු ගමන් අපි පටන් ගන්නවා, රජයේ ප්‍රතිපත්තිය අනුව නැහැ. එහෙම රජයට ලැබිය යුතු ආදායමක් පෞද්ගලික සමාගමකට ලබාදෙන්න බැහැ කියලා. ජොයින්ට් වෙන්චර් එක තිබෙන කොටත් ඒක නාවික හමුදාවට භාර දිලා දැන් ඒක සියයට සියයක් ආදායම රජයේ මහා භාණ්ඩාගාරයට යන්නෙ.”
කමිටු සභාපතිවරයා:
“2025 වර්ෂයේදී එහි ලාභය කොපමණද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“සාමාන්‍ය වශයෙන් ගත්තොත් මාසයකට ඩොලර් ලක්ෂ හතරක ආදායමක් උපයනවා. ඒකෙන් සියයට අසූවක්ම ගිහින් තිබුණේ පෞද්ගලික සමාගමකට. ඒ නිසා රජය ප්රතිපතිතිමය තීරණයක් ගත්තා වහාම එය නතර කරන්න. ඒ අනුව එම කටයුතු දැන් නාවික හමුදාවට භාර දී තිබෙනවා. දැන් සියයට සියයක්ම එහි ආදායම මභා භාණ්ඩාගාරයට යන්න පටන් අරන් තිබෙනවා. අපට ලොකු පාඩුවක් වෙලා නැහැ. ඒ කාලයේ කරනකොටත් සියයට පහයි අපේ සමාගමට ලැබි තිබෙන්නේ. ඒ අනුව අපට ඒ සියයට පහ විතරයි නැති වෙලා තිබෙන්නෙ. ගාල්ලේ අවි තැන්පත් කරන රාජකාරියේ. නමුත් ඒක නැති වුණාට මුහුදු ආරක්ෂාව සැපයීම වෙනුවෙන් ආරක්ෂකයන්ට අවි දීලා, ආරක්ෂාව සැපයීමේ කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපේ ආදායමට ලොකු පාඩුවක් වෙලා නැහැ ඒක.”
කමිටු සභාපතිවරයා,
2007 සිට ඔබ ඒ කාර්යභාරය කරලා කොතැනදිද එය අහිමි වෙන්නේ.කොතැනදි ද ඇවන්ගාඩ් එකට දෙන්නේ.“
රක්නා ලංකා සමාගමේ නිලධාරියකු,
“මේ විදිහට වෙලා තිබෙන්නේ 2009-09-25 සිට 2012-10-14 වන තෙක් නේවි එකෙන් කරලා තිබෙනවා. ඉන්පසුව 2012-10-15 සිට 2015-11-30 වනතෙක් රක්නා ලංකා ආයතනයයි, ඇවන්ගාඩ් ආයතනයයි ජොයින්ට් වෙන්චර් එකක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා.නැවත 2015-11 -13 සිට 2021-09-10 දක්වා නාවික හමුදාව විසින් සිදුකර තිබෙනවා. 2021-06-17 සිට රක්නා ලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ගාඩ් එකයි ජොයින්ට් වෙන්චර් එකක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ විදිහට තමයි සිදුව තිබෙන්නේ. ඒ වගේම ගිය අවුරුද්දේ නොවැම්බර් 28 වැනිදා නාවික හමුදාවට නැවත භාර දී තිබෙන්නෙ.”
කමිටු සභාපතිවරයා:
“එතකොට ඕගොල්ලන්ට සියයට පහක ආදායම තවම ලැබෙනව ද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා,
“ඒක දැන් එන්නෙ නැහැ. මොකද නොවැම්බර් සිට නාවික හමුදාවෙන් සම්පූර්ණයෙන්ම කරන්නේ. අපට ඒ අයත් එක්ක බද්ද ගිවිසුම තවම තිබෙනවා. නමුත් අපට ඒක කරන්න බැහැ . නාවික හමුදාවට ඒක භාර දෙන්න කියලා තිබෙන්නේ. අපේ ඉන්න ස්ටාෆ් එකත් අරගෙන .ඇවන්ගාඩ් පෞද්ගලික සමාගමේ ස්ටාෆ් එකත් එතැනින් ඉවත්වෙලා තිබෙනවා.”
කමිටු සභාපතිවරයා,
ඇවන්ගාඩ් සමාගමත් එක්ක තිබෙන ගිවිසුම අවසන් කරන්න මොනවහරි නීතිමය බාධාවන් තිබෙනව ද?
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
නීතිමය බාධාවක් තිබෙනවා. මොකද අපි ඒ අය සමඟ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 2027 දක්වා. අපි නීති අංශ මේ ගැන අධ්‍යයනය කරමින් සිටිනවා. කොහොම වුණත් මේ වෙනකොට එය සස්පෙන්ෂන් වෙලයි තිබෙන්නේ. නවත්වලා වගේ තමයි. අපි ඒකට උනන්දු කරන්නේ නැහැ.”
කමිටු සභාපතිවරයා:
“ඔය අංශයේ පසුගිය වසරේ සම්පූර්ණ ආදායම කොපමණ ද?“
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“මට හරියටම ආදායම මතක නැහැ. නමුත් ඩොලර් ලක්ෂ හතරක් මාසිකව ආදායමක් ලැබුණා.”
කමිටු සභාපතිවරයා:
“ඒ කියන්නේ සියයට අසූවක ආදායමක් මීට පෙර ගියේ ඇවන්ගාඩ් එකට.“
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා:
“මෙය ආරම්භයෙ සිටම නාවික හමුදාව, රක්නා ලංකා සමාගම එක්ව කරගෙන යනවා. අතරමැදදි පෞද්ගලික සමාගමක් මෙතැන්ට එනවා. රාජ්‍ය ආයතන දෙකක් කරගෙන යන ව්‍යාපාරයකට පෞද්ගලික සමාගමක් එන එක සම්බන්ධයෙන් තීරණය අරන් තිබෙන්නේ කවුද? හේතුව මොකක්ද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා,
“අපට පේන්න තිබෙන විදිහට එවකට රජයේ උපදෙස් මත එවකට හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය අරගෙන එම තීරණය අරන් තිබෙනවා.“
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා:
“අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවල ඒ පිළිබඳව වාර්තා වෙනවා ද?
නීති නිලධාරිනිය:
“2021 සිට 2028 දක්වා ගිවිසුම දීර්ඝ කිරීම නම් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් සිදුව තිබෙන්නේ. 2009 සිට ක්‍රියාත්මක වූ ගිවිසුම්වලට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බවක් පෙනෙන්නට නැහැ. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකට වඩා ආරක්ෂක අමාත්‍යාංශ ගයිඩ් ලයින් එකක්. අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතීන් කියලා දෙන්න මට ඩොකියුමන්ට් එකක් නැහැ.”
කමිටු සභාපති:
“ඒ කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් එන තීරණය අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළේ සාකච්ඡා කරලා අනුමැතියකින් තොරව තමයි ක්‍රියාත්මක කර තිබෙන්නේ. ඕගොල්ලන්ගේ ප්ලෑන්ස්වලට අනුවනේ යන්න ඕන. නමුත් මේක සිදු වුණ විදිහ අපට හිතාගන්න පුළුවන්. ඒ වගේම රක්නා ලංකා ඕගොල්ලන්ගේ භාරයේ හරි , ඇවන්ගාඩ් භාරයේ හරි තිබෙන ආයුධ සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුව තිබුණා. ඒවා දැන් අවසන් ද?”
* රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“සමහර ආයුධ තවමත් සොයමින් සිටිනවා. විගණනයෙන් කියලා. සමහර සමාගම් නිවැරදිව ගිවිසුම් ගහලා නැහැ. රාජ්‍ය නීති රීති රෙගුලාසිවලට අනුවයි, අපි කටයුතු කරන්නේ.”
කමිටු සභාපති:
“දැනට ආයුධ කීයක් තිබෙනව ද?“
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“අපි ගාව ආයුධ අටසියයක් විතර තිබෙනවා. ඇත්තටම ඒ ප්‍රමාණය මදි. අපි තව ගන්නත් ඉල්ලලා තිබෙනවා. තුන්සියයක් විතර. බිස්නස් එනවා තව. සී මාර්ෂල් තව වැඩිකරන්න පුළුවන් ආයුධ තිබෙනවා නම්, ඒ නිසා එම් ඕ ඩී එකෙන් ඉල්ලලා තිබෙනවා.”
කමිටු සභාපති,
“2006 වසරේ සිට රක්නා ලංකා සමාගම සතුව තිබූ ආයුධ ප්‍රමාණය කොපමණද? ඒකෙන් කොච්චර අතේ තිබෙනවද? කොපමණ සංඛ්‍යාවක් විනාශ වෙලා තිබෙනවද? කීයක් අතුරුදන්වී තිබෙනව ද?”
රක්නා ලංකා සමාගමේ නිලධාරියකු:
“ආයුධ 219ක් සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නයක් තිබෙන්නේ. වෙපන් 219න් 139ක් විදේශ ආමර්වල තැන්පත් කර තිබෙනවා. ඒවා ගෙන්ව ගන්න බැරිව තිබෙන්නේ. ඊට අමතරව වෙපන් 13ක් තිබෙන තැන අපට හොයා ගන්න බැහැ. විදෙස් ආමර්වල තැන්පත් කරලා. නමුත් තැන හොයා ගන්න බැහැ. වෙපන් 67ක් ඩිස්ට්‍රොයි කර තිබෙනවා . ඒ නිසා වෙපන් පනස් හයකට මුදල් අදාළ සමාගම්වලින් අයකරගෙන තිබෙනවා. තව 11කට මුදල් අයකර ගත යුතුයි.”
කමිටු සභාපති:
“විදෙස් ආමර්වල තැන්පත් කර ඇති ආයුධ ගෙන්වා ගැනීමේ වගකීම තිබෙන්නේ කා සතුව ද? රක්නා ලංකා සමාගම සතුව ද? ඇවන්ගාඩ් සමාගම සතුව ද? ඒ වගේම මේක බරපතළ කරුණක්. ඒ නිසා ඉතාම ඉක්මනින් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මේක වහා විසඳීමට මැදිහත් විය යුතුයි. ඒ වගේම මේ සම්බන්ධයෙන් සමාජය තුළ කතා කළාට අපි හිතුවෙත් මේ වෙනකොට මෙම ප්‍රශ්නය අවසන් වෙලා ඇති කියලයි. ඒනිසා ඉක්මනින් මේ කාර්යය අවසන් කරන්න. රාජ්‍යය තාන්ත්‍රික සබඳතා හරහා මේ වෙනුවෙන් මැදිහත් වෙන්න පුළුවන් ද කියලා වහාම බලන්න.“
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රගීත් මධුරංග මහතා:
“ඒ වගේම සභාපතිතුමනි, මේ ආයුද ටික ගෙන්න ගන්නකම් අඩුම තරමේ මේ ආයුද තිබෙන්නේ මොන මොන රටවල්වල ද , මොන මොන ස්ථානවල ද යන්න සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගන්න. මොකද මේ ආයුධ එළියේ සමාජයට ගිහින් නැහැ කියා සියයට සියයක් තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.”
රක්නා ලංකා සමාගමේ නිලධාරියකු,
“එම ආයුධ තිබෙන තැන් ඉදිරිපත් කළ හැකියි.“
කමිටු සභාපතිවරයා:
“එම ආයුධ ගෙන්වා ගැනීම වෙනුවෙන් මොනවද කර තිබෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කළා ද. එහෙමත් නැත්තම් ඇවන්ගාඩ් සමාගමෙන් යම් විමසීමක් කළා ද. ඇවන්ගාඩ් ආරක්ෂක අමාත්‍යාංශයට කැඳෙව්ව ද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“මේ ආයුධ ගෙන්වගන්න වගකීම භාරගන්න කෙනෙක් සොයාගන්න බැරිවයි ඉන්නේ.ඇවන්ගාඩ් පමණක් නෙවෙයි. ලෝකල් ඒජන්ට්ලා හරහා ගිය ඒවත් තිබෙනවා. දැනට අපි අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.”
කමිටු සභාපති:
“ගිවිසුම්වල නැද්ද. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී ගිවිසුම් ගතවූ දේවල් නැද්ද?“
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“නැහැ. ඒ කිසිම දෙයක් නැතිව තමයි ගිහින් තිබෙන්නේ. අපට ඒ ලේඛන තමයි සොයාගන්න බැරිව ඉන්නේ. හරියමට මේවා හොයන්න අපි ඒ ඒ රටවල්වලට ගියොත් ආර්ථික වශයෙන් විශාල වියදමක් දරන්න වෙනවා. ඒ වගේම වෙපන් එකට වඩා විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරන්න වෙනවා. නමුත් අපි නොකඩවා එම් ඕ ඩි එකට කියනවා.”
කමිටු සභාපතිවරයා:
“විශාල ආයුධ ප්‍රමාණයක් බැහැරවී ඇති ආකාරය පැහැදිලියි. 2011 වසරේ සිටයි මෙය සිදුව තිබෙන්නෙ. ඒ නිසා ඉක්මනින් රක්නා ලංකා ආයතනය පැත්තෙන්, ඔබතුමාගේ පැත්තෙන් ඉක්මන් මැදිහත්වීමක් මේ වෙනුවෙන් සිදු කරන්න. ඒ වගේම මෙම ආයතනය වෙනුවෙන් සිදුකර තිබෙන යම් ඉදිකිරීමක් වෙනුවෙන් විශාල වියදමක් සිදුකර තිබෙනවා. තට්ටු 14කට සැලසුම් කළ ගොඩනැඟිල්ලක තවමත් මිලියන අටසිය ගණනක් වැය කරලා හදලා තිබෙන්නේ පළමු තට්ටුව විතරයි.”
නීති නිලධාරිනිය:
“මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරනකොට පැහැදිලි වන්නේ ප්‍රසම්පාදනයකින් තෝරාගැනීමක් සිදුව නැති බවයි. උපදේශක සමාගමක් තෝරාගෙන නැහැ.”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“මේ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා උපදෙස් ලැබී තිබෙනවා. 2023 වසරේදි තමයි ඒ උපදෙස් ලබාදී තිබෙන්නේ. නමුත් ඒ විගණනය තවම ආරම්භ කර නැහැ.”
කමිටු සභාපති:
“මම දන්න තරමට මේක 2021 දි සිදුකර තිබෙන මෙම වියදම සම්බන්ධයෙන් මධ්‍යම ඉංජිනේරු කාර්යාංශය ඇස්තමේන්තුවක් කරනවා. ඒකෙදී බිලියන 1.3 ක් තමයි ඇස්තමේන්තුගත කර තිබෙන්නේ. නමුත් ඒ වෙනකොට බිලියන 2.3 ක් වියදම් කර තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉක්මනට වෝහාරික විගණනය ආරම්භ කරන්න.”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“මේ සඳහා අපි තෝරාගැනීමක් සිදුකර තිබෙනවා. ඒ වගේම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් උපදෙස් දුන්නා මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවටත් පැමිණිලි කරන ලෙසට.මේ සුමානයේ අපට ඒක කරන්න පුළුවන් වෙයි.”
කමිටු සභාපතිවරයා:
“ඒ වගේම ඇවන්ගාඩ් ආයතනය මෙහෙයුම් කටයුතු අවසන් කර තිබෙනවා. ඇවන්ගාඩ් ආයතනයෙන් රක්නා ලංකා ආයතනයට කෙතරම් මුදල් ලැබිය යුතුද?”
පිළිතුර,
“2024 මාර්තු 31 වනවිට ලැබීම් ලෙස මිලියන 231ක් සඳහන් වෙනවා. ඒ ඇතුළේ ඇවන්ගාඩ් සමාගමත් ඉන්නවා.”
කමිටු සභාපතිවරයා:
“එතකොට ඇවන්ගාඩ් සමාගමෙන් පමණක් අයවිය යුතු මුදල කොපමණද?”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර්(විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා,
“අපගේ රක්නා ලංකා සමාගමට සියයට පහක් ගෙවිය යුතුයිනේ. නමුත් ඒ ගෙවිය යුතු මුදල් ගෙවන්නේ මාස දෙක තුනක් ප්‍රමාද කරලයි. ජූලි මාසයෙන් පසුව ගෙවීම් කරලා නැහැ.”
රක්නා ලංකා ආයතනයේ නියෝජිතයකු:
“අපට ඩොලර් 23109.38ක්, තවත් ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා කරපු කටයුතුවලදි ඩොලර් තුන්ලක්ෂ හත්දහස් එකසිය හැත්තෑවක් ගෙවන්න තිබෙනවා. ඒ වගේම තවත් ඔපරේෂන් එකකදී රුපියල් මිලියන 3.5ත් ගෙවිය යුතුයි.”
කමිටු සභාපතිවරයා:
“ඩොලර්වලින් ගත්තොත් ඩොලර් තුන්ලක්ෂ තිස්දහසක් විතර ගෙවන්න තිබෙනවා, ඇවන්ගාඩ් සමාගම විසින්. ඊට අමතරව රුපියල් මිලියන 3.5 ක්. ඒ මුදල අයකර ගැනීම වෙනුවෙන් මොනවද කරන්නේ?. ඒ වගේම ඒ මුදල ඒ අය ගෙවන්නේ නැත්තම් නීතිමය ක්රියාමාර්ගහරි ගත යුතුයිනේ. මේ වෙනුවෙන් මොනවද කරලා තිබෙන්නේ.”
රක්නා ලංකා සමාගමේ සභාපති බ්‍රිගේඩියර් (විශ්‍රාමික) ජූඩ් ප්‍රනාන්දු මහතා:
“අපි මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන්නේ. මේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න කියලා අපි කියලා තිබෙන්නේ. අපෙන් විස්තර වගයකුත් ලබාගත්තා. ඒ වගේම ඉක්මනින්ම ඒ අයට විරුද්ධව නඩු පවරන්න කියලා අපට උපදෙස් ලබා දෙයි.”