පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිප වැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාදීකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07 ක සිර දඬුවම් නියම කර තිබේ.
ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් හත් ලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් විය. එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව වසරක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් විය.
මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරන ලදී.
මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමටද මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළේය.
විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් මහාධිකරණ තීන්දුවේ සඳහන් විය.
එම මහාධිකරණ තීන්දුවෙන් අතෘප්තියට පත් අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කළහ.
තීන්දුව ප්රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ විත්තිකරුට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි වලින් ඔහුට එරෙහිව එල්ල කෙරුණු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.
ඒ අනුව අදාළ දඬුවම වහාම ක්රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය විසින් ත්රිකුණාමලය මහාධිකරණයට කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.