ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු විසින් සංවිධානය කළ අවුරුදු කුමරා හා කුමරිය තේරීමේ උත්සවයකදී පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැළුණු අවුරුදු කුමරිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) නියෝග කළාය.
වනජීවි දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව නෙත්මි හිරන්යා නමැති සැකකාර තරුණිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අතිරේක මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තුවක් නිකුත් කළාය.
වනජීවි දෙපාර්තමේන්තුවේ කොළඹ වන සත්ව අඩවි ආරක්ෂක නිලධාරියා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇති පිඹුරෙකු කරේ දමාගෙන හිංසා කරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ තැනැත්තිය සැකකාරියක ලෙස නම් කළ බවත් සැකකාරියට වනජීවී කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝග කර ඇතත් ඇය එම ප්‍රකාශය ලබා දීම මග හරින බවත්ය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙසේද පැවසූහ.
‘‘ස්වාමීනි, කොළඹ කුරුඳුවත්ත ‘රෝයල් මාස් එරීනා’ නමැති පරිශ්‍රයේ සිදු කරන ලදැයි කියන මෙම අවුරුදු උත්සවයේදී සැකකාරිය විසින් පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ නියැලී තිබෙනවා. වනජීවි වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙය දඬුවම් ලැබිය යුතු වරදක් බැවින් අදාළ සැකකාරියට කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට දන්වා තිබුණා. නමුත් එම තැනැත්තිය මේ වනතෙක් ඊට ප්‍රතිචාර දක්වා නැහැ. එම නිසා සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊට අමතරව අදාළ තරගය සංවිධානයක් කළ රූපලාවන්‍ය ශිල්පියාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත යුතුයි. ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය අදාළ වරෙන්තු නියෝග නිකුත් කරමින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.
ඊට අමතරව අදාළ තරග සංවිධායක රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ නමැති අයගෙන් වහාම ප්‍රකාශයක් ලබා ගැනීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය වනජීවී දෙපාර්තමේන්තුවට ඊයේ (23 වැනිදා) අවසර ලබා දුන්නාය.