බැරල් දහස් ගණනක් අතුරුදන් කළ බොරතෙල් නෞකා මෙරටට ගෙන්වා ඇත්තේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව බව විගණන පරීක්ෂණයකදී අනාවරණය වී ඇත.
පසුගිය රජය සමයේ ගෙන්වූ මෙම නෞකාවලින් බොරතෙල් ගොඩබෑමේදී බැරල් දහස් ගණනක් අතුරුදන්වීම ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමද පරීක්ෂණ ආරම්භ කළේය. අවසන් වරට ගොඩ බෑ තෙල් නැවකින් බැරල් 9696 ක් එනම් තෙල් ලීටර් පහළොස් ලක්ෂ හතළිස් එක්දහස් හයසිය හැට හතරක් අතුරුදන් විය. සිංගප්පූරුවේ විවෝල් සමාගම විසින් මැයි 17 දා කොළඹ වරායට ගෙන ආ ‘ASHAHDA’ නමැති නෞකාවෙන් මෙම තොගය අඩුවිය.
එම සමාගමට අයත් නෞකාව ගිය වසරේ පැමිණි දෙවතාවකම තෙල් බැරල් අතුරුදන්වූ බව විමර්ශනවලදී තහවුරු විය. මීට අමතරව ඊට පෙර සිංගප්පූරුවේ බී.බී. ඒනර්ජි සමාගම මෙරටට රැගෙන ආ ‘Pusaka Java’ නමැති නැවෙන් බොරතෙල් බාගත් පසු තෙල් බැරල් 12,551 ක් අතුරුදන්වී තිබුණේය.
බොරතෙල් නැවක් ගොඩබෑමේදී අපතේ යා හැකි සම්මත ප්‍රමාණය තොගයෙන් 0.3 කි. එය මුල්කරගෙන සෑම නැවකින්ම බැරල් 1,800 ක් පැන්නීමේ ජාවාරමක් කාලයක් තිස්සේ සිදුවී ඇතැයි අනාවරණය වන්නේ මුහුදේ සිට ගොඩබිමට තෙල් පොම්ප කරන නළයේ හා බෝයාවේ කිසිදු කාන්දුවක් නැතැයි හෙළිවීමෙනි. නාවික හමුදා කිමිදුම්කරුවන් දිය යට කැමරා මගින් පරීක්ෂා කර ඒ බව වාර්තා කර තිබිණි.
තෙල් අපතේ ගියා සේ හඟවා මෙම සංවිධානාත්මක ජාවාරම මගින් පමණක් රුපියල් පන්කෝටි හැට දෙලක්ෂයක තෙල් හොර පාරෙන් පන්නා ජාවාරමට සම්බන්ධ වූවන් මුදල් උපයාගෙන තිබිණි. මෙයට දේශපාලනාධිකාරිය හා සංස්ථා ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධතා ඇතැයි චෝදනා එල්ල විය.