කොණ්ඩය කර්ල් කරගන්න ගිය කාන්තාවගේ තට්ටය පෑදෙයි – රූපලාවන්‍ය ශිල්පිණිය පලා යයි

  • නිවෙස්වලිනුත් පලා ගිය සැලෝන් එකේ හිමිකාරිය සහ සේවිකාවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න මිනුවන්ගොඩ අධිකරණය නියෝග කරයි…
  • වින්දිත කාන්තාවට යෙදූ ක්‍රීම්වර්ග ගැන පරීක්ෂණයක් කිරීමට පාරිභෝගික සේවා අධිකාරියටත් අධිකරණය නියෝගයක්…

ඔබ ලංකාවේ ඕනෑම හන්දියකට යන්න. දඹාන හන්දියට ගියත් පුදුකුඩුඉරිප්පු හන්දියට ගියත් ඔබට ඩිස්පෙන්සරි කීපයක් සහ බියුටි සැලෝන් කීපයක් දැක ගන්නට පුලුවන. මේ රටේ පුරවැසියන් ඒ තරමට ලෙඩ්ඩුය. ඒ වගේම ගෑනු ඒ තරමටම මොඩ් ය.

සැලෝන් එකක් පටන් ගන්නා උන් තමන් කරන්නේ මොන ජාතියේ වගකීමක් සහිත රස්සාවක්දැයි නොදන්නවා සේම තමන් කරන රැකියාව සම්බන්ධව උන් සමාජයට වගවීමක් නැත. අපට බොහෝ විට හමුවන්නේ ඉස්කෝල ගමන නන්නත්තාර වූ පසු දින කීපයක පාඨමාලාවක් හදාරා “රූපලාවන්‍ය ශිල්පිනියන්”වන සිප්පිකටු ය.

එමෙන්ම මේ සැලෝන්වලට යන බොහෝ ගැහැනුන් ද තමන්ව මොඩ් කරන්නේ අහවල් ජාතියක උන්දැයි දන්නේ නැත. තමන් තෝරා ගන්නා සැලොන් එකේ “බියුටි කෙල්ලන්ට” එ් සඳහා ඇති දැනුම් අත්දැකීම් මොනවාද, .උන් ගාන ආලේප මොනවා ද, ඒ ආලේපවලින් තමන්ට අසාත්මිකතා ඇතිවිය හැකිද යන කාරණා එතෙන්ට යන ගැහැනුන් නොදන්නවා සේම හදිසි තත්ත්වයක් තුළ ගත යුතු ක්‍රියාමාර්ග ගැන මෙලෝ හසරක් සැලොන් කරන උන්ටත් නැත. ලස්සන වෙන්න සැලෝන්වලට යන ගමන බොහෝ අවස්ථාවල පෙට්ටියකින් අවසන් වූ අත්දැකීම් අපට ඇත්තේ ඒ නිසාය.

මිනුවන්ගොඩින් අපට අසන්නට ලැබෙන්නේ තමන් කරන්නේ අහවල් දෙයක් දැකිය නොදැන රූපලාවන්‍යාගාර ලෙස මෝචරියක් පවත්වාගෙන ගිය මදාවි ගැහැනු 03ක් ගැන කතාවකි. උන්ගේ හිසකෙස් සත්කාරය නැවතී ඇත්තේ ඒ සත්කාර ලබන්නට රුපියල් 12500ක් ගෙවා ගිය ගැහැණියට තට්ට හිසක් ඉතිරි කරමිනි. ඇය අසාධ්‍යව ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද නිවසට පැමිණ සිටියාය.

මිනුවන්ගොඩ සණස ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය කලණි සැලොන් නැමැති එම ව්‍යාපාරික ස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවන් මේ වනවිට සැලොන් එකේ බෝඩ් එකත් ගලවා දමා උන්හිටි නිවාසවලිනුත් පලා ගොස් සැඟවී ය. වහාම මේ කාන්තාවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද මිනුවන්ගොඩ අධිකරණය පොලිසියට නියෝග කළේය.

අපි මේ වින්දිත කාන්තාව සොයාගෙන මිනුවන්ගො ඔරුගොඩවත්තේ ඇගේ නිවසට ගියෙමු. ඒ වනවිට ඇය මිනුවන්ගොඩ පොලිසියට යෑමට සූදානමින් සිටියාය. තවමත් ඇයගේ දෑස් රතු වී ඇත්තේය. දෙනෙක් කඩා වැටෙන්නට තරම් බරවී ඇත්තේය. යන්තම් කෙස් ගස් කීපයක් කැරලි වී ඉතිරිව ඇත. ව්‍යසනය වන්නේ ඒ කෙස් ගස් ද හිස අත ගාන විට ගැලවී අතට ඒමය. ගැහැණියක සිය පංච කල්‍යාණියෙන් එකක් සේ රකින කෙස්වලට දහස් ගණන් ගෙවා සත්කාර කරන්නට ගිය ඇයට මගට බසින්නට බැරිවෙන තැනට කළණි සැලෝන් එක වැඩේ කර තිබුණේය.

විටෙක හඬමින් තවත් විටෙක අවේගයෙන් තවත් විටෙක කලකිරීමෙන් ඇය සිය කතාව අපට කීවාය.

දවස සෙනසුරාදා (31). වෙඩින් එකක් තිබුණා. මම සැලෝන් එකට ගියා කොණ්ඩෙ හදන්න. දහයට විතර ගියේ.

කොණ්ඩෙ හදන්න 15000ක් කිව්වා. ඇ.තුල් වෙනකොටම මගෙන් 12500ක් ගත්තාත. මම ඒ මුදල ගෙව්වා. ඊට පස්සේ කොණ්ඩ වොෂ් දැම්මා. සැලොන් එක අයිති ගෑනු කෙනාම කොණ්ඩෙ කටු ගහලා හැදුවා. එතන ඉන්න ළමයින්ටත් කිව්වා හදන්න කියලා. ඊට පස්සේ බඩු ගේන්න සල්ලි නෑ කියලා මගෙන්ම සල්ලි අරන් බඩු ගෙනාවා.

ගෙනල්ලා ඒ ගෑනු කෙනා ළමයින්ට කිව්වා මෙන්න මේ මේ දේවල් දාලා කොණ්ඩෙ හදන්න කියලා. එහෙම කරලා වැඩේ එතන ඉන්න කෙල්ලො දෙන්නට බාර දීලා උසාවියට යන්න තියනවා කියලා අයිතිකාර ගෑනු කෙනා ගියා.

ඊට පස්සේ එයාල කටු දාලා බෙහෙත් වගයක් දැම්මා. විනාඩි 45ක් තියන්න ඕන කියලා කිව්වා බේත් දාලා. මම ඇහුවා මොනවද දැම්මේ කියලා පෙන්නන්න කියලා. මේ කෙල්ලො මට කියනවා පෙන්නන්නයි වැඩ කරන්නයි දෙකක් බෑ කියලා.

මම සද්ද නැතිව හිටියා. දැන් විනාඩි 45ක් ගිහින්. ඒ අය මට කියනවා බෑ… තව තියන්න ඕන කියලා. දැන් මට ඉවසගන්න බෑ කැරකිල්ල. හිස කැක්කුම. ඇස්වලින් කඳුළු එනවා. මම කිව්වා මට මේක දරාගන්න බෑ. ඉවසන්න බැරි ඔළුවේ කැක්කුමක් එනවා.. දැන් මගේ කොණ්ඩෙ වොෂ් කරන්න කියලා.

එතකොට මේ එක කෙල්ලක් කියනවා ආවෙ ඔයාගෙ වැඩේටනේ. ඔයාගේ වැඩේට ආවානම් ඉන්න දැනගන්න ඕන නේ කියලා. මොනව කරන්න ද . මම හිතුවා ඒ අයනේ දන්නේ කියලා. ඉතින් සද්ද නැතිව හිටියා. තවත් විනාඩි 45ක් කොණ්ඩෙ තිබ්බා. දැන් මට දරාගන්නම බෑ. ඒත් මේ කෙල්ල කියනවා තව කොණ්ඩෙ ඇදිලා නෑ… තව ටික වෙලාවක් තියන්න ඕන කියලා.

දැන් මට පේනවා මුන් හොරෙන් හොරෙන් හිමිහිට කාටද කතා කරනවා. කතා කරන්නේ සැලොන් එක අයිති ගෑනිට. ඊට පස්සේ මෙන්න කොන්ඩෙ හේදුවා. හෝදලා ආයෙමත් මොනවද එකක් දැම්මා ඔළුවට. දාලා කොණ්ඩෙ හෝදද්දි මට පේනවා මුන් හොඳටම කලබල වෙලා. මටත් කොණ්ඩෙ මොකක්දෝ අමුත්තක් දැනුනා.

ඊට පස්සේ කොණ්ඩෙ ටවල් එකෙන් පිහලා මාව ඉන්දෙව්වා. ඒ වෙනකොට මගේ අක්කත් හිටියේ මිනුවන්ගොඩ ටවුන් එකේ. වෙඩින් එකට යන්න ඇඳුමක් ගන්න ඇවිත්. එයා මට කතා කළාම මම කිව්වා මම ඉන්නේ සැලොන් එකේ. ඔයත් එන්න කියලා.

එතකොටම අක්කලා ආවා. අක්කා මාව දැකලා එක පාරටම බය වුනා. එයා ඇහුවා මොකද මේ කෙණ්ඩ කෑලි කෑලි එල්ලලෙන්නේ කියලා. මම බලනකොට අනේ මගේ කොන්ඩෙ අහුරු අහුරු ගැලවිලා බිමට වැටෙනවා නික්ම්ම.

මම අඩ අඬා කෑ ගැහුවා. ඒ කෙල්ලන්ගෙන් මම ඇහුවා ඇයි මගේ කොණ්ඩෙට ඔයාලා මේ විදිහට කළේ කියලා. දැන් ඒ කෙල්ලො දෙන්නා මට එන්නම දෙන්නෙ නෑ සැලෝන් එකෙන්. ඔයාට මිස් එනකම් ඉන්න වෙනවා. මෙතනින් හෙල්ලෙන්න එපා කියලා මට තර්ජනය කරන්නත් එනවා.

මමයි අක්කයි දෙන්නම කෑ ගහලා තමයි එළියට ආවේ. ඇවිත් පොලිසියට ගියා අපි දෙන්නා. මගේ කට උත්තරය ලියාගෙන පොලිසියෙන් මාව වහාම මිනුවන්ගොඩ හොස්පිටල් එකට යැව්වා. පොලිසියෙදිත් මගේ කොණ්ඩෙ අහුරු ගානේ ගැලවිලා වැටෙනවා. ඒවා පොලිසියෙ නෝනලා මහත්තුරුත් දැක්කා. පස්සේ පුලුවන් ඉක්මනින් පොලිසියෙන් මාව මිනුවන්ගොඩ හොස්පිටල් එකට යැව්වා. කෙස් ගැලවෙන එකේ අඩුවක් නෑ. මිනුවන්ගොඩින් මාව ගම්පහ හොස්පිටල් එකට පිටත් කළා. ගෙදර ආවෙ අද

ඇය කීවාය. දෙදරු මවක්ව ඇයගේ දරු දෙදෙනා අමුතු වූ අම්මා දෙස නෙත් අයාගෙන බලමින් ඇය වටේ කැරකෙනු දුටුවෙමි. දිරාපත්ව කැඩි කැඩී යන හසකෙස්වල දැන් ඉතිරිවී ඇති කොටස් අඟලකටත් අඩු දිගකය. බොහෝ තැන්වල ඇත්තේ තට්ටය පමණි.

මේ පැමිණිල්ල සටහන් කරගත් වහාම මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් සහ නිලධාරිනියන් සැලෝන් එක සොයාගෙන ගියහ. ඒ යනවිටත් සැලොන් එකේ බෝඩ් එකත් ගලවා කඩකාමරයට ඉබි යතුරු දමා ස්ථානය හිමිකාරිනිය සහ සේවිකාවන් දෙදෙනා පලා ගොස්ය.

පොලිසිය මේ අපරාධය කළ කාන්තාවන්ගේ නිවෙස් සොයා යනවිට ඔවුන් සිය නිවාස අත්හැර දමා පලාගොස්ය.

මිනුවන්ගොඩ පොලිසිය අද සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කළේය. නඩුව 9 වැනි මාසේ 13ට කල් ගියේය. ” සැකකාරියන් තුන් දෙනා ගෙවලුත් අත්හැරලා ගිහින්. ඒ අය ගෙවල්වල නෑ. අධිකරණය නියෝගය කළා මේ තුන්දෙනා වහාම අත් අඩංගුවට ගන්න කියලා. සෝදිසි වරෙන්තුවකුත් නියම කළා “

“ඒ වගේම පොලිිසය කළ ඉල්ලිම මත ඔවුන් භාවිතා කළ රසායන ආලේප වර්ග පරීක්ෂා කර බලන්න පාරිභෝගික අධිකාරියට නියෝගයක් දුන්නා. ” මිනුවන්ගොඩ පොලිසිය අපට කීවේය. මේ අප දන්නා වාර්තා වූ එක් සිද්ධියක් පමණි. ලස්සන වෙන්නට ගොස් තමන්ට කෙළවුන හැටි ගැනවත් නොදැන මහා මානසික පීඩාවක් සහිත ජිවත්වන කාන්තාවන් දැක ඇත්තෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *