පෙම්වතාගේ වියෝව දරා ගත නොහැකි වූ පෙම්වතියත් ජීවිතය හැර යයි

මිනිසුන් තරම් ආලයට ඇලුම් කරන අය තවත් නැත.ඒ නිසාම ඇතැම් විට තමන්ට නොලැබුණු ප්‍රේමයක් නිසා ජීවිත අහිමි කර ගත් හා ජීවිත වනසා දැමූ සිදුවීම් එමටය.තමන් සමඟ පෙමින් බැඳී සිටි පෙම්වතා සිත් රිදවීමකින් ගෙල වැලලාගෙන මිය යෑමේ කම්පනයෙන් සිටි තරුණියක් එලෙසම දිවි නසා දිවි අහිමි කර ගැනීමේ පුවතක් මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ මදුරන්කුලිය මුක්කුතොඩුවාව පදිංචි නිල්ෂානී සුමෝධීකා නැමැති 19 හැවිරිදි තරුණියකි.

මෙසේ දිවි නසා ගත් තරුණිය සමඟ පෙමින් බැඳී ඇති තරුණයා උඩප්පුව සින්නපාඩුව පදිංචිව සිටි 20 හැවිරිදි ලසිදු ලිවේරා නැමැති තරුණයකු බව කියයි.

මේ තරුණිය සමඟ පෙමින් බැඳී සිටි ලසිදු සිදුවු යම් සිත් රිදවීමකින් පසු ඔහුගේ නිවසේදී පසුගිය 27 වැනි දින ගෙල වැලලාගෙන දිවි නසාගෙන තිබූ බව උඩප්පුව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළි වී තිබුණි.

මේ තරුණයාගේ මරණයෙන් කම්පනයට පත්ව සිටි 19 හැවිරිදි නිල්ෂානී දින කීපයකට පසු එනම් 30 වැනි දින තම පෙම්වතා ගෙල වැලලාගෙන දිවි නසා ගත් ආකාරයටම දිවි නසාගෙන ඇති බව ඥාතීහු පවසති.

මොවුන් දෙදෙනා කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබු බවත් එම ප්‍රේම සම්බන්ධතාව අතරතුරදී දෙදෙනා අතර ඇතිවූ විරසක වීම් හේතුවෙන් ප්‍රේමය අවස්ථා කීපයකදී බිඳ වැටී තිබූ බවත් නැවතත් දෙදෙනා මිතුරු වෙමින් සිට ඇති බවත් නැවතත් ඇති වු විරසක වීමකින් ඇතිවූ කලකිරීමකින් ලසිදු ජීවිතයේ ඉරණම භාර දී තිබුණේ මව්පියන් ඇතුළු ඥාතින් සේම මිතුරන්ද මේ මරණයෙන් දැඩි කම්පනයට පත් කරමිනි.

මිතුරන් සමඟ ඉතාමත් ළෙන්ගතු මිතුරෙක් වූ ලසිදු ප්‍රේමයකින් ඇතිවූ යම් විරසක වීමකින් මෙලෙස දිවි අහිමි කර ගනු ඇතැයි මිතුරන් කිසිම ලෙසකින් නොසිතන්න ඇත්තේ ඔහුගේ කෙළිදොල් ක්‍රියා හේතුවෙනි.ඉතාමත් සමාජශීලි හා ළෙන්ගතු තරුණයකු වූ ලසිදුට ජීවිතයේ වටිනාකම බිඳක් හෝ තේරුම් ගියා නම් තම ජීවිතය මෙලෙස අවසන් කර නොගන්නා බව ඥාතීහු පවසති.

එසේම ලසිදුගේ මරණය නිල්ෂානී දෙසට චෝදනාවක් ලෙස එල්ල වී තිබූ බව ද පැවසේ.එය ඇයට දරා ගත නොහැකි වී තිබු බව ද පැවසෙයි.

අවසානයේ නිල්ෂානී ද සියල්ල පසෙක තබා තම හැදු වැඩු මව්පියන් සේම සහෝදර සහෝදරියන් සියලු දෙනා ගැන බිඳුවක් හෝ නොසිතා ජීවිතය හැර ගියාය.

මිතුරන් හා ඥාතීන්ගේ සෝසුසුම් මැද සින්නපාඩුව ලුර්දු මාතා දේවස්ථානයට රැගෙන ගොස් එහිදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු දේවස්ථාන භූමියේ පිහිටි සුසාන භූමියේ තැන්පත් කිරීම සිදුවූයේ මව්පියන්ගේ විලාප මැදය.

නිල්ෂානීගේ අවසන් කටයුතු මුක්කුතොඩුවාව කතෝලික දේවස්ථානයේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මිහිදන් කර තිබුණේ මෙවන් අවාසනාවන්ත ඉරණමකට ඇය නැවත උපදින භවයක දී ඉඩ නොතබන ලෙස මව්පියන් හා ඥාතීන් ශාන්ත සෙබස්තියන් මුනිඳුන් ඉදිරියේ කන්නලව් කරමිනි.

ආදරය හෝ වෙනත් කරුණක් හමුවේ ජීවිතයෙන් පලා යෑම කිසිවිටකත් අනුමත නොකරන කරුණකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *