ආනයනික භාණ්ඩ සඳහා ලබන වසරේ සිට එස්.එල්.එස්. ප්‍රමිතිය අනිවාර්ය කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය. අඩුවෙන් තක්සේරු කර භාණ්ඩ ආනයනය තහනම් කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය. ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘Scale Up 2.0‘ ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික සංසදය පසුගියදා (11) කොළඹදී පැවැත්වූ අතර එහි ප්‍රධාන දේශනය පවත්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ව්‍යාපාරිකයන්ගේ වර්ධනයට ඍජුවම බලපාන වෙළෙඳපොළ ප්‍රවේශය, ප්‍රසම්පාදනය, ප්රමිතීන් සහ සහතික කිරීම්, ආයෝජන සූදානම, මූල්‍යකරණය සහ ඩිජිටල් තාක්ෂණය වැලඳගැනීම වැනි කරුණු කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය. එමෙන්ම, දේශීය හා අපනයන වෙළෙඳපොළවලට ප්‍රවේශ වීම, විශාල සමාගම්වල සැපයුම් දාම සමඟ සම්බන්ධ වීම සහ ව්‍යාපාර ඊළඟ අදියරට ගෙනයෑමේදී මුහුණ දෙන බදුකරණය, ව්‍යාපාරික පාලනය හා මූල්‍ය අභියෝග පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“අපේ රට ආර්ථික අර්බුදයක ඉඳලා ආර්ථික ස්ථාවරත්වයට ඇවිල්ලා සංවර්ධනය කරා පිය මනින්න උත්සාහ කරන අවස්ථාවක්. ඒ සඳහා විවිධ ව්‍යූහාත්මක වෙනස්කම් සිද්ධ වෙන අවස්ථාවක්. අපිට 2027 ඉඳලා 30, 32 වෙනකල් වේගවත් ආර්ථික වර්ධනයක්, වේගවත් අපනයන වර්ධනයක් අවශ්‍ය වෙනවා. අපි දන්නවා 2022 ඉඳලා අපේ රටේ තිබ්බ තත්ත්වය. ඒ නිසා අපිට සිද්ධ වුණා රජයක් වශයෙන් මේ ආර්ථිකය යම්කිසි මට්ටමකට හැකිළීමේ ආර්ථික තීරණ ගන්න. බදු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. රජය සමහර වියදම් අඩු කරලා තියෙනවා. නමුත් 2027න් එහාට ඒ ගමන යන්න අපිට අවශ්‍ය කරන අඩිතාලම අපි දාගෙන තියෙනවා. අපේ රාජ්‍ය ආදායම ශක්තිමත් වෙලා, අපනයන වාර්ෂිකව වැඩි වෙන තත්ත්වයක්, ජාත්‍යන්තරව තිබ්බ අර්බුද කෙමෙන් සමනය වන තත්ත්වයක් යටතේ අපි විශ්වාස කරනවා. අපිට ඉතාමත් වේගයෙන් මේ ආර්ථික වර්ධනය ළඟා කරගන්න පුළුවන් කියලා.
මේ සුළු හා මධ්‍ය පරිමාණ මාතෘකාවේ අපි ප්‍රධාන වෙන්කිරීමක් කරගන්න ඕනෑ මේ සාකච්ඡාවට එද්දී. මොකද අපේ ඉන්නවා ගොඩක් ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ. දැනට අසංවිධානාත්මක විදිහට මිලියන 1.2කට වැඩිය ඉන්නවා. අපි හිතනවා ඊටත් වැඩිය ඇති කියලා. මේකෙන් සාතිශය බහුතරය ක්ෂුද්‍ර ව්‍යාපාරිකයන්. අපි කරන්න ඕනෑ ඒගොල්ලන්ගේ තිරසරත්වයට උදවු කරන එක. මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවක් හෝ වුවමනාවක් හෝ හැකියාවක් නැහැ, මේ ව්‍යාපාර පුළුල් කිරීම කියන සාකච්ඡාවට සක්‍රියව සහභාගි වෙන්න.
අපි කර්මාන්ත අමාත්‍යාංශය ඉතාමත් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉහළ විභවයක් සහිත, අපනයන විභවයක් සහිත ආයතනවලට තමයි අපි මේ ඉස්සරහට කියන පහසුකම්වල විශේෂ අවශ්‍යතාව තියෙන්නේ කියලා හඳුනාගෙන තියෙනවා.
ලංකාව දියුණු කරන්න නම් අනෙකුත් වෙළෙඳපොළ එක්ක ඒකාබද්ධ වෙන්න ඕනෑ. ඒක වෙළෙඳ ගිවිසුම් හරහා අපි කරන්න ඕනෑ. ඒ වෙෙළඳ ගිවිසුම් හරහා ඒක කරන්න නම්, අපි අනික් රටවලට දාලා තියෙන බාධක අයින් කරන්න ඕනෑ. ඒ නිසා මේ රජය තීරණයක් අරන් අපි මේ වෙනකොට වෙනත් රටවලින් අපේ රටට භාණ්ඩ ගේනකොට තියෙන තීරුබදු බාධා ඉවත් කරන්න එකඟතාවකට ඇවිල්ලා තියෙනවා.
ඒ කියන්නේ අපේ සමහර කර්මාන්ත 30%ත් 80%ත් අතර තීරුබදු ප්‍රමාණයකින් ආරක්ෂා වෙලා තිබ්බා. අවාසනාවකට ඒ සමහර කර්මාන්ත තමන්ගේ ඵලදායිතාව වැඩි කරගෙන නැහැ. ලෝකයත් එක්ක තරග කරන්න. ඒ නිසා අපිට අනෙක් රටවල් එක්ක ඒකාබද්ධ වෙන්න නම්, අපේ රටේ බාධා දාගෙන පිටරට එක්ක ඒකාබද්ධ වෙන්න බැහැ. ළඟපාත තියෙන ආර්ථික දැවැන්තයන් එක්ක ඒකාබද්ධ නොවී සිටීමෙන් පුංචි රටකට පැවැත්මක් නැහැ.
මේ තීරුබදු ඉවත් වෙනකොට, විශේෂයෙන්ම PAL සහ CESS ඉවත් වෙනකොට අපිට දැවැන්ත තරගයක් එනවා. එතකොට ඒ දැවැන්ත තරගයට මුහුණ දෙන්න නම්, අපි පුළුල් වෙලා ඉන්න ඕනෑ. අපි ව්‍යාපාර පුළුල් කළේ නැත්නම් අපිට මේ තරගයට මුහුණ දෙන්න බැහැ. ඒ වගේම තමයි අපි මෙතනින් එහාට දේශීය වෙළෙඳපොළක් කියලා දෙයක් සාකච්ඡාවට බඳුන් කරන්නේ නැහැ. වෙළෙඳපොළ ජාත්යන්තරයි. ලංකාවත් ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ එක කොටසක්.
ඒ නිසා නීතියේ සාධාරණත්වය තුළ තමයි ව්‍යාපාරවලට සම බිමක් ලැබෙන්නේ. මම හිතනවා, අපි ඒ මනස හදාගන්න ඕනෑ. ඒ, අපි දේශීය නෙමෙයි ජාත්යන්තරයි කියන මානසික මට්ටම එක්ක. ඊළඟට මේ ජාත්‍යන්තරයට යන්න නම්, ව්‍යාපාර පුළුල් කරන්න නම්, අපිත් ලෑස්ති වෙලා ඉන්න ඕනෑ. අපි අපේ ව්‍යාපාර ගැන හොඳ කියවීමක් හදාගන්න ඕනෑ. විශේෂයෙන්ම පරිපාලනය පැත්තෙන්, ඵලදායිතාව පැත්තෙන්, අපේ මූල්‍ය විනය පැත්තෙන්, අපේ මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් අපි ඒවට ආයෝජනය කරනවාද නැද්ද කියලා ඔබතුමාලා පපුවට අත තියලා කල්පනා කරන්න ඕනෑ.”