කොරියාවේ විද්‍යාඥයෙක් වූ ලංකාවේ දිනෙත් මුහුදු ශාකයකින් දියවැඩියාවට බෙහෙතක් සොයාගනියි

හදවත විකසිත කරවන කතාවක් ඇසිණි. ඒ කොරියාවේ පර්යේෂණ කටයුතුවල නිරත වී සිටින අපේ රටේ තරුණ විද්‍යාඥයෙක් ගැන කතාවකි. කොරෝනා වෛරසය විනාශ කිරීමට ඖෂධීය ගුණැති මුහුදු ශාකයක් සොයාගැනීම, මව් කිරිවල ගුණ කැටි කරගත් පිටි කිරි වර්ගයක් නිෂ්පාදනය කිරීම සහ ඖෂධවලින් තොරව දියවැඩියාව පාලනය කිරීමට කෑම වර්ගයක් හඳුන්වාදීම ඔහුගේ පර්යේෂණ අතර විශේෂය. මේ වන විට කොරියාවේ ජේ ජූ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක් ලෙස අධ්‍යයන කටයුතු කරගෙන යන හේ කොරියාවේ පර්යේෂකයෙක්ට පිදෙන විශිෂ්ටතා සම්මානයෙන් ද පිදුම් ලැබ තිබේ. එය අපේ රටට ද අභිමානයකි. පසුගිය දිනෙක මව් රටට පැමිණි ඔහු අපව ද මුණගැසුනේ ය.

හේ ආචාර්ය දිනෙත් ප්‍රමුදිත නාගහවත්ත ය. දිනෙත් නාමයේ අරුත දිව්‍යමය නෙත් ය. ප්‍රමුදිත ප්‍රබෝධජනක, සතුට යන අරුතය. සිනාවෙන් පිරුණු දිනෙත් ප්‍රමුදිතගේ මුවමඬලේ නමේ අරුත හොඳින් ගැබ් වී තිබෙන බව පෙනේ. සිත් වසඟයට පත් කරවන ප්‍රියමනාප, කඩවසම් පෙනුමකින් ද යුක්ත ය. වයස අවුරුදු තිස්දෙක ඉක්ම යන දිනෙත්ගේ උපන් ගම මාතර ය. දිනෙත්ට සහෝදරියන්ම දෙදෙනකි. ඔහු පවුලේ දෙවැනියා ය. ඔහුගේ පියා පාලිත නාගහවත්ත ය. වෘත්තියෙන් ගුරුවරයෙකි. ව්‍යාපාර අධ්‍යයන විෂය සම්බන්ධයෙන් අමතර පන්ති පවත්වාගෙන ගිය දකුණු පළාතේ ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකි. දිනෙත්ට වයස අවුරුදු පහළොව ඉක්ම යෑමට පෙර පියා ජීවිතයෙන් සමුගෙන ගියේ ය. පියාගේ රැකවරණය, මවගේ සෙනෙහස අහිමිව ගිය දිනෙත් සහ සහෝදරියන් දෙදෙනා මෙලොව අතරමං වී නැත. ආච්චි, සීයා ඔවුන්ව ආදරයෙන් දැඩි කර ලෝකයටම වැදගත් මිනිසුන් බවට පත් කර ඇත.

හිත්තැටිය ගමේ පෙර පාසලෙන් අත්පොත තැබූ දිනෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා අධ්‍යාපනය හදාරා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයෙනි. පාසලේ දඟ මල්ලක් ලෙස ප්‍රසිද්ධව සිටි දිනෙත් තාප්පයකින් පණින්න ගොස් දණහිස පැන දින කිහිපයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. එම ආබාධ තත්ත්වය අදට ද හරිහැටි සුවපත් වී නැති බව හේ අප සමඟ පැවසීය. එමෙන්ම පන්ති මඟ හැර කට්ටි පණිමින් සිටි දිනෙත් සාමාන්‍ය පෙළ විභාගය එක වර උසස් ලෙස සමත් විය. ජීවවිද්‍යා අංශයෙන් උසස් පෙළ සාමාන්‍ය විදිහට සමත් දිනෙත් උසස් අධ්‍යාපනය හැදෑරීමට වයඹ විශ්වවිද්‍යාලයට තේරීපත් වී ඇත. එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය සහ වතු කළමනාකරණ පීඨයේ ජෛව තාක්‍ෂණය පිළිබඳ උපාධිය හැදෑරූ දිනෙත්ට උපාධිධාරියෙක්ට කලාතුරකින් ලැබෙන මහඟු අවස්ථාවක් ද ලැබී ඇත. ඒ උසස් අධ්‍යාපනය ලැබූ වයඹ විශ්වවිද්‍යාලයේම සහාය ගුරුවරයෙක් ලෙස සේවය කිරීමේ වාසනාව ය. 2018 වර්ෂයේ උපාධිය ලබාගත් දිනෙත් ප්‍රමුදිත නාගහවත්ත ගුරුවරයෙක් ලෙස වසරක කාලයක් වයඹ විශ්වවිද්‍යාලයේ සේවය කරගෙන ගියේය. ඒ අතරතුර කාලයේදී කොරියාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය උපාධිය හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ය. ඒ අනුව ඔහු 2019 වර්ෂයේ මාර්තු මාසයේදී දකුණු කොරියාවේ ජේ ජූ නැෂනල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ඇත. මොහොතකට කතාව නතර කර අපි දිනෙත්ගේ හඬට සවන් දී සිටියෙමු.

මුහුදු ශාකයකින් දියවැඩියාවට බෙහෙතක් සොයාගත් ලංකාවේ දිනෙත්
දිනෙත් පරීක්‍ෂණයක් කරන අයුරු

“ජේ ජූ විශ්වවිද්‍යාලයේදී (Jeju National Univercity) මහාචාර්ය යු ජින් ජෝ (Professor You jin jeon) යටතේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. යු ජින් ජෝ දකුණු කොරියාවේ හොඳම විද්‍යාඥයින් 500 අතර ඉදිරියෙන්ම සිටින මහාචාර්යවරයෙක්. එවැනි මහාචාර්යවරයෙක් යටතේ පර්යේෂණ කටයුතු කරගෙන යන්න ලැබීමත් ජීවිතයේ ලැබුණු වාසනාවක්. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මහාචාර්ය අත්තනායක යටතේ පර්යේෂණ කිහිපයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මහාචාර්ය අත්තනායකත් ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ පර්යේෂකයෙක්. ඔහු යටතේ පර්යේෂණ කිරීමෙන් ලැබුණු පන්නරයත් එක්ක කොරියාවේදී වැඩිපුර උනන්දු වුණේ මුහුදු ශාක සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න. මහාචාර්ය යු ජින් ජෝ වැඩිපුර කරන්නෙත් මුහුදු ශාක සම්බන්ධයෙන් පර්යේෂණ. මුහුදු ශාකවලට කොරියාවේ ඉහළ වටිනාකමක් තියෙනවා. විවිධාකාර නිෂ්පාදන සඳහා මුහුදු ශාක අමුද්‍රව්‍යයක් විදිහට භාවිත කරනවා. විශේෂයෙන්ම රූපලාවන්‍ය නිෂ්පාදනවලට මුහුදු ශාක බහුලව භාවිත කරනවා. ඒ වගේම මුහුදු ශාක භාවිතයෙන් නිෂ්පාදනය කරපු විවිධ කෑම වර්ග කොරියානු වෙළෙඳපොළේ තියෙනවා. බොහෝ කොරියන් ජාතිකයන්ගේ කෑම වේලට මුහුදු ශාක අනිවාර්ය ආහාරයක් වෙලා තියෙනවා. බෝ නොවන රෝග පාලනයට මුහුදු ශාකවල අතිප්‍රබල ඖෂධීය ගුණ රාශියක් අඩංගුවවෙලා තිබෙනවා. මිනිස් ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන, විෂබීජ ශරීරගතවීම පාලනය කරන සුවිශේෂී ඖෂධීය ගුණයන් මුහුදු ශාකවල අඩංගුයි…”

“ජේ ජූ විශ්වවිද්‍යාලයේදී මම ප්‍රථමයෙන් සම්බන්ධ වුණේ මුහුදු ශාක කල් තබාගැනීමේ උපකරණයක් නිෂ්පාදනය කෙරෙන පර්යේෂණයකට. ඒ පර්යේෂණය සාර්ථකයි. ඒත් මගේ සොයාගැනීමක් නෙමෙයි. මම ඒ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙක් විතරයි. 2019 අවුරුද්දෙ ඉඳලා මේ වෙනකොට මම කරපු පර්යේෂණ 50 ක් විතර ජර්නල්වල පළ කරලා තියෙනවා. ඒ අතරින් විශේෂම පර්යේෂණය කොවිඩ් 2 වෛරසය විනාශ කළ හැකි මුහුදු ශාක වර්ගයක් සොයාගැනීම. ඒ පර්යේෂණය අතිසාර්ථකයි. පේටන් බලපත්‍රයට ඉල්ලුම් කරලා තියෙනවා. තව නොබෝ දිනකින් පේටන් බලපත්‍රය ලැබීමට නියමිතයි. එම පර්යේෂණය නෙචර් ෆුඩ් ජර්නල් එකට යොමු කරලා තියෙනවා. නෙචර් ෆුඩ් ලොව පිළිගත්ම ජර්නල්වලින් එකක්. ඒ වගේම මම සොයාගත් මුහුදු ශාක ආහාරයට ගැනීමෙන් කොවිඩ් වෛරසය ශරීරගතවීමත් නතර වෙනවා. වෛරසය ශරීරගතවීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට සිදුවන හානියත් අවම කරනවා. වෛරසයේ ව්‍යාප්තියත් පාලනය කරනවා. ඒ පර්යේෂණයට කොරියාවේ පර්යේෂකයෙක්ට පිදෙන ඉහළම සම්මානයක් මට ලැබුණා…”

‘ඒ වගේම ආක්‍රමණික ශාකයක් ලෙස කොරියානු මුහුදට ගසාගෙන ආ සර්ගසුම් හොර්නෙරි (Sargasssum horneri) මුහුදු ශාකය භාවිතා කොට ස්වභාවික ෆියුකෝස් නිෂ්පාදනය කරන්න පුළුවන් බව පර්යේෂණයකින් මම සොයාගත්තා. සර්ගසුම් හොර්නෙරි කහ පාටට හුරු රතු පැහැති ශාකයක්. මේ ශාකය ගසාගෙන ඇවිත් කොරියානු මුහුද වසාගෙන තිබුණා. මුහුදෙ සුන්දරත්වය නැති වුණා. මාළු මැරිලා දුගඳ හමන තත්ත්වයක් නිර්මාණය වුණා. කොරියන් රජයටත් ඒක ලොකු ගැටලුවක් වුණා. ඒ ශාකය විනාශ නොකර රටට වාසිදායක විසඳුමක් කොරියන් රජය බලාපොරොත්තු වුණා. පර්යේෂකයන් ඒ ශාකය ගැන පර්යේෂණ කරන්න පටන් ගත්තා. සමහර පර්යේෂකයන් එතනෝල් නිෂ්පාදනය කරන්න පර්යේෂණ කරනවා. තව අය විවිධ කෑම වර්ග නිෂ්පාදනය කරන්න බලනවා. මමත් ඒ ශාකය ගැන පර්යේෂණ කරගෙන යනකොට ෆියුකෝස් නිෂ්පාදනය කරන්න පුළුවන් බව සොයාගත්තා. එම ශාකයෙන් නිෂ්පාදනය කරන ෆියුකෝස් වර්ගය මිල වැඩියි. ප්‍රතිශක්තීකරණ ගුණය වැඩියි. ඒ වගේම ඉෂිගේ ඔකමරේ (Ishge Okamurae) මුහුදු ශාකය තුළ දියවැඩියා රෝගය පාලනය කරන ඖෂධීය ගුණයක් තියෙන බව මම සොයාගත්තා. ඒ ශාකය ආහාරයට ගත්තම ක්‍ෂණයෙන් ශරීරයේ සිනී අඩු වෙනවා. ඒ ශාකය සම්බන්ධයෙන් තවම පර්යේෂණ කරගෙන යනවා. ඒ ශාක භාවිතයෙන් දියවැඩියා රෝග පාලනයට ජෙලි වගේ කෑමක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඉදිරි කාලයේදී එම ආහාරය වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා…”

මුහුදු ශාකයකින් දියවැඩියාවට බෙහෙතක් සොයාගත් ලංකාවේ දිනෙත්
ඉෂිගේ ඔකමරේ මුහුදු ශාකය

“මව් කිරිවල තිබෙන පෝෂණ ගුණයට සමාන එළකිරි භාවිතයෙන් නිෂ්පාදනය කරන ළදරු කිරි පිටි වර්ගයක් හඳුන්වාදීමටත් පර්යේෂණ කරගෙන යනවා. ඒ පිටි කිරි නිෂ්පාදනයටත් සර්ගසුම් හොර්නෙරි :(Sargassum Horneri) මුහුදු ශාකය භාවිතා කරනවා. ඒ නිසා ඉතාම අවම මිලකට කිරි නිෂ්පාදනය වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්. මේ සොයාගැනීමට මඟ පෑදුණේ මුහුදු ශාක භාවිතයෙන් තේ වෙනුවට භාවිතා කරන පානයක් නිෂ්පාදනය කරන්න පර්යේෂණ කරනකොට. තේ වෙනුවට මුහුදු ශාක පානයක් හඳුන්වාදීමට බැරි වුණා. ළදරු කිරි පිටි පර්යේෂණය සාර්ථක වුණා. මේ වෙනකොට පේටන් බලපත්‍රයට ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙනවා. කිරි නිෂ්පාදනයට කොම්පැණි කිහිපයක් අපි සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. රසායනික නිෂ්පාදනයක් නොවන මේ කිරි නිෂ්පාදනය කෙටි කාලයකින් ලොව පුරා ප්‍රචලිත වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. මේ වෙනකොටත් ලෝකයේ බොහෝ රටවල පර්යේෂකයන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරගෙන යනවා. ඒත් සාර්ථක ප්‍රතිඵල ලැබිලා නෑ. අපේ පර්යේෂණය සාර්ථකවීම ගැන මම ආඩම්බර වෙනවා. ඒ වගේම කොරියාව වගේ රටක පර්යේෂණ කටයුතු සඳහා යොමු වෙන්න ලැබීම වාසනාවක්…”

“දකුණු කොරියාවේ කර්මාන්ත ක්‍ෂේත්‍රය සහ පර්යේෂණ කටයුතු සංවර්ධනය බද්ධ වූ විෂයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ. කොරියාව වේගයෙන් දියුණු වෙන්නෙ පර්යේෂණ කටයුතුවලට ප්‍රමුඛස්ථානය දෙන නිසයි. ඒ වගේම දකුණු කොරියානු රජය පර්යේෂණ කටයුතු සඳහා උපරිම අනුග්‍රහකත්වය ලබාදෙනවා. වැඩි, වැඩියෙන් පර්යේෂණ කරන්න පර්යේෂකයන් දිරිමත් කරනවා. කොරියාවේ නිෂ්පාදන ආයතන ඔවුන්ගේ අවශ්‍යතා අනුව පර්යේෂකයන් හරහා නව සොයාගැනීම් කරනවා. ඒ වෙනුවෙන් නිෂ්පාදන ආයතන පර්යේෂකයන්ට උපරිමයෙන් ගෙවනවා. කොරියානු නිෂ්පාදනකරුවන් නිතර උත්සාහ කරන්නෙ අලුත් නිෂ්පාදනයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන්න. ඒ වගේම කොරියාවේ බහුතරය පර්යේෂණ කටයුතු කරගෙන යෑමට උපරිම සහයෝගය ලබාදෙනවා. මේ වෙනකොට ලෝකයේ රටවල් අතර කොරියාව, චීනය, ජපානය පර්යේෂණ කටයුතු වැඩි, වැඩියෙන් කරන්න විශාල උනන්දුවක් දක්වන බව පේනවා. කොරියාව වගේ රටක පර්යේෂණ කරගෙන යනකොට සෑම මොහොතකම හිතන්නෙ අලුත් විදිහට. වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් නෑ…” ආචාර්ය දිනෙත් ප්‍රමුදිත නිහඬ විය.

දිනෙත් ද නිරන්තරයෙන් උත්සාහ කරනුයේ මිනිසුන්ගේ රෝග පාලනයට ස්වභාවික කෑම හඳුන්වාදීමටය. ඖෂධ භාවිතයෙන් තොරව කෑමෙන් ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යෑමට අවශ්‍ය ඖෂධීය ශාක හඳුන්වාදීමටය. ඔහුගේ හද ගැබ තුළ මානව හිතවාදී බීජය හටගැනීමට හේතු බීජයක් ද තිබේ. ඒ දිනෙත් පුංචි කාලයේදීම පියා මරණයට ගොදුරු වී ඇත්තේ පිළිකාවක් හටගැනීමෙනි. පියාට පින් පමුණුවීමට මිනිස් සංහතියටම සෙතක් කිරීමේ අදිටනින් දිනෙත් පර්යේෂණ කිරීමට යොමු වී ඇත. සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජන රටාව, කෑම පාලනය, නිවැරැදි ව්‍යායාම තුළින් නිරෝගීමත් ජීවිතයක් පවත්වාගෙන යෑමට හැකි බව දිනෙත් පෙන්වා දුන්නේ ය. කොරියන් ජාතිකයන් නිරෝගීමත් ජීවිත ගත කරනුයේ නිවැරැදි ආහාර රටාවකට හුරු වී සිටින නිසා බව ඔහු පැහැදිළි කළේය. කොරියාවේ කෑම උපරිම සෞඛ්‍යය ආරක්‍ෂිතය. පෝෂණ ගුණය වැඩිය. කොරියන් ජාතිකයන් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර පරිභෝජනය අඩුය. මස් පරිභෝජනය වැඩිය. එහෙත් මස් වර්ග පිළියෙළ කර ගන්නා ක්‍රමය වෙනස්ය. කොරියාවේ බහුතරය උදෑසන ආහාර වේල නොගන්නා බවත් දහවල් ආහාර වේල රජෙක් සේ ගන්නා බව දිනෙත් අපට කීවේය. රාත්‍රියට ද සැහැල්ලු ආහාර වේලකින් සප්පායම් වන බොහෝ කොරියන් ජාතිකයන් නිරෝගීමත් දිවිපෙවෙතක් ගත කරන බව ද දිනෙත් පැහැදිලි කළේය. තරබාරු, බඩ මහත බහිරව ස්වරූපයෙන් අවලස්සන වූ කොරියන් ජාතිකයන් දැක ගැනීමට ලැබීම අල්ප බව ද දිනෙත් සිනාව අතරින් කීවේය.

මෙරට ජීවත් වූ දින කිහිපයට ඔහුගේ සිතේ අලුත් අදහසක් පැළ වී තිබේ. ඒ උණට, සෙම්ප්‍රතිෂ්‍යාවට, කැස්සට, ඇඟපත රුදාවට ඖෂධීය පානයක් ලෙස මෙරට ජන සමාජය තුළ ප්‍රචලිත ‘වෙනිවැල් ගැට’ පෙත්තක් ලෙස නිෂ්පාදනය කිරීමටය. ඒ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු නුදුරු අනාගතයේදී ආරම්භ කරන බව ද හේ අප සමඟ පැවසී ය. වෙනිවැල් ගැට කෑලි, කුඩු තම්බා හෝ වක්කර පානය කිරීමෙන් ලැබෙන ගුණයට වඩා වැඩි ගුණදායක බවක් ලොව පිළිගත් ඖෂධ නිෂ්පාදන ප්‍රමිතිවලට අනුකූලව, සෞඛ්‍ය ආරක්‍ෂිතව නිෂ්පාදනය කෙරෙන වෙනිවැල්ගැට පෙත්තකින් ලැබෙන බව ද ඔහු විශ්වාසයෙන් යුක්තව පැහැදිලි කළේය. ලොව බොහෝ රටවල නොමැති වෙනිවැල් ගැට ශාක සාරයෙන් ඖෂධීය පෙත්තක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබීම මෙරට වෙනිවැල් ගැට ශාකයට විශාල ආර්ථිකමය වටිනාකමක් ලැබෙන බව අපගේ විශ්වාසයයි.

එමෙන්ම ආචාර්ය දිනෙත් දැනට කරගෙන යන පර්යේෂණ කිහිපයක් ගැන අපව දැනුවත් කළේය. ඒ සමහරක් දේවල් සමාජගත කිරීම පර්යේෂණ කටයුතුවලට බාධාවකි. පේටන් බලපත්‍ර සමඟ ජනගත කිරීම නව සොයාගැනීමකට ඉහළ වටිනාකමකි. එමෙන්ම උපන් රටේ ජීවත්වීමට දිනෙත් කැමැති වුවද පර්යේෂකයෙක් ලෙස ලොවට නව නිෂ්පාදන හඳුන්වාදීමට නම් කොරියාව වැනි කාර්මික රටක ජීවත් විය යුතු බව ඔහුගේ අදහසය. රට වට කර මුහුද තිබුණ ද සාගරයෙන් ප්‍රයෝජනයක් නොගන්නා, නව සොයාගැනීම් නොව පොළොවේ තිබෙන සම්පත් කළමනාකරණයට ද වැඩපිළිවෙළක් නැති රටක දිනෙත්ලට ජීවත්වීමෙන් ඇති ඵලක් නැත. එහෙයින් දිනෙත් තව දින කිහිපයකින් කොරියාව බලා පිටත්වීමට තීරණය කර ඇත. නැවත මෙරට ට පැමිණි දිනෙක හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි ඔහුගෙන් සමුගත්තෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *