ජාතික ආපදා කළමනාකරණ සභාව අද (27) රාත්‍රියේ ආරක්ෂක අමාත්‍යාංශයේදී රැස් වූ අවස්ථාවට සහභාගි වීමි.
අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර ජනතාවගේ ජීවිත ආරක්ෂාව සහ සහන සේවා කටයුතු අඛණ්ඩව සිදු කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ආරක්ෂක අංශ සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නෙමි.
සුළි කුණාටු සහ වර්ෂාපතනය හේතුවෙන් නිරන්තරයෙන් සිදුවන කාලගුණික වෙනස් වීම්, ආපදා තත්වයන් සහ අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ යාවත්කාලීන තොරතුරු නිරන්තරයෙන් මාධ්‍ය වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් මම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ නිවාස සහ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු සැලසුම් කරන ලෙසත්, උපදෙස් දුන්නෙමි.
එමෙන්ම, වාරිමාර්ග පද්ධතියේ ආරක්ෂාව පිළිබදව අවධානය යොමු කරන ලෙසත් උපදෙස් දුන් මම මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් කාර්යක්ෂමව සැපයීමට සංචාරක මණ්ඩලයට උපදෙස් ලබා දුනෙමි.